Back to Languages

    Sinhala - Chapter 18

    Translation by Www.islamhouse.com

    Verse 1

    තම ගැත්තා වෙත දේව ග්‍රන්ථය (කුර්ආනය) පහළ කළා වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා ! තවද ඔහු එහි කිසිදු ඇදයක් තැබුවේ නැත

    Verse 2

    (එය) ඍජුය. (අල්ලාහ් වන) ඔහු වෙතින් වූ දැඩි දඬුවම ගැන අවවාද කරනු පිණිසත් යහකම් කරනවුන් වන දේව විශ්වාසවන්තයින්ට නියත වශයෙන්ම ඔවුනට අලංකාර ප්‍රතිඵල ඇතැයි දන්වනු පිණිසත් (ඔහු එය පහළ කළේ)ය

    Verse 3

    (එම ප්‍රතිඵලවල) නිරන්තරයෙන්ම එහි රැඳී සිටින්නන් වෙති

    Verse 4

    අල්ලාහ් දරුවකු ගෙන ඇතැයි ප්‍රකාශ කළවුනට ඔහු අවවාද කරනු පිණිස ද (එය පහළ කළේය)

    Verse 5

    ඔවුනට හෝ ඔවුන්ගේ මුතුන් මිත්තන්හට ඒ පිළිබඳ ව කිසිදු දැනුමක් නොමැත. ඔවුන්ගේ මුඛවල් වලින් පිට වන ප්‍රකාශය දරුණු විය. ඔවුහු බොරුව මිස (වෙනෙකක්) නොපවසති

    Verse 6

    මෙම දෙසුම (අල්කුර්ආනය) ඔවුහු විශ්වාස නොකළේ නම් ඔවුන්ගේ බලපෑම මත දුකට පත් ව නුඹ නුඹවම විනාශ කර ගන්නෙකු විය හැක

    Verse 7

    ඔවුන් අතුරින් ක්‍රියාවෙන් වඩාත් අලංකාර වනුයේ කවුරුන්දැයි අපි ඔවුන් පරීක්ෂා කරනු පිණිස මහපොළොව මත ඇති දෑ එයට අලංකරණයක් ලෙස ඇති කළෙමු

    Verse 8

    තවද අපි ඒ (මහපොළොව) මත ඇති දෑ වියළී ගිය තැනිතලාවක් බවට පත් කරන්නන් වෙමු

    Verse 9

    නියත වශයෙන්ම එම ගුහාවට හා සෙල්ලිපිවලට අයත් වූවන් අපගේ සංඥා අතුරින් පුදුම සහගත අය වශයෙන් සිටියහ යැයි (නබිවරය) නුඹ අදහස් කරන්නෙහි ද

    Verse 10

    තරුණයින් (රැකවරණ සොයා) ගුහාව වෙත පිවිසුනු විට ‘අපගේ පරමාධිපතියාණනි, නුඹ වෙතින් වූ කරුණාව අපට පිරිනමනු මැනව ! අපගේ කාර්යය මග පෙන්වීමක් බවට අප වෙත පත් කරනු මැනව.!’ ( යැයි ප්‍රාර්ථනා කළහ)

    Verse 11

    එවිට ලෙනෙහි වසර ගණනාවක් (නිදන්නට) ඔවුන්ගේ කන් මත ආවරණයක් අපි හෙළුවෙමු

    Verse 12

    පසු ව ඔවුන් රැඳී සිටි කාලය මැනවින් සටහන් කරගෙන ඇත්තේ කණ්ඩායම් දෙකින් කවර (කණ්ඩායම)ක් දැයි අපි දන්වනු පිණිස අපි ඔවුන් ව අවදි කළෙමු

    Verse 13

    ඔවුන්ගේ පුවත පිළිබඳ ව අපි සැබෑ ලෙසින් නුඹ වෙත පවසන්නෙමු. නියත වශයෙන්ම ඔවුහු තරුණයෝය. ඔවුහු ඔවුන්ගේ පරමාධිපති ව විශ්වාස කළහ. තවද අපි ඔවුනට යහ මග අධික කළෙමු

    Verse 14

    ඔවුහු අවදි වී ‘අපගේ පරමාධිපති අහස් හා මහපොළොවේ හිමිපාණන්ය. ඔහුගෙන් තොරව කිසිදු දෙවියකුට අපි ඇරයුම් නොකරන්නෙමු. එවිට (එසේ කළේ නම්) සැබැවින්ම අපි බොරුවක්ම පවසා ඇත්තෙමු’ යැයි ඔවුහු පැවසූ විට ඔවුන්ගේ හදවත් අපි ශක්තිමත් කළෙමු

    Verse 15

    මොවුහු අපගේ ජනයා වෙති. ඔහු(අල්ලාහ්) හැර (වෙනත්) දෙවියන් මොවුහු ගත්තෝය. (එසේනම්) ඒවා සම්බන්ධයෙන් පැහැදිලි සාධකයක් මොවුන් ගෙන ආ යුතු නොවේ ද? අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නාට වඩා මහා අපරාධකරු කවරෙක් ද

    Verse 16

    තවද නුඹලා ඔවුන්ගෙන් හා අල්ලාහ්ගෙන් තොරව ඔවුන් නමදිමින් සිටි දැයින් ඉවත් වූ විට (ආරක්ෂාව පතා) ලෙන තුළට නුඹලා පිවිසෙනු. නුඹලාගේ පරමාධිපති ඔහුගේ කරුණාව නුඹලා වෙත විහිදු වනු ඇත. තවද නුඹලාගේ කර්තව්‍යයන් නුඹලාට පහසු බවට පත් කරනු ඇත

    Verse 17

    හිරු උදා වූ විට ඔවුන්ගේ ගුහාවෙන් දකුණු දෙසට එය නැඹුරුවීමද, අවරට ගිය විට වම් දෙසින් ඔවුන් ව මග හැරී යාමද නුඹ දකිනු ඇත. (නමුත්) ඔවුහු එහි විශාල ස්ථානයක වූහ. එය අල්ලාහ්ගේ සාධකයන් අතුරිනි. අල්ලාහ් කවරෙකු යහ මග යොමු කරන්නේ ද ඔහු යහ මග ලැබූවෙක්මය. තවද ඔහු කවරෙකු නොමග හැරියේ ද එවිට ඔහු වෙනුවෙන් මග පෙන්වන භාරකරුවකු නුඹ නොදකිනු ඇත

    Verse 18

    තවද නුඹ (ඔවුන් දුටුවේ නම්) ඔවුන් අවදි ව සිටින්නන් යැයි නුඹ සිතනු ඇත. නමුත් ඔවුහු නිදාගෙන සිටිති. තවද අපි දකුණු දෙසටත් වම් දෙසටත් ඔවුන්ව පෙරළමින් සිටියෙමු. ඔවුන්ගේ සුනඛයා තම පෙර පාද දෙක දිගු කරමින් දොරටුව මත විය. නුඹ ඔවුන් වෙත එබී බැලුවෙහි නම් ඔවුන්ගෙන් නුඹ වේගයෙන් පලා යනු ඇත. තවද ඔවුන් පිළිබඳ භීතියෙන් නුඹ පිරෙනු ඇත

    Verse 19

    තවද එලෙස ඔවුන් අතර ඔවුන් එකිනෙකා විමසා ගනු පිණිස ඔවුන් ව අපි අවදි කළෙමු. ඔවුන් අතුරින් ප්‍රකාශකයකු ‘නුඹලා කොපමණ කාලයක් රැඳුණෙහු දැයි විමසා සිටියේය. අපි දිනක් හෝ දිනකින් කොටසක් හෝ රැඳී සිටියෙමු’ යැයි ඔවුහු පැවසුවෝය. ‘නුඹලා රැඳී සිටි කාලය පිළිබඳ මැනවින් දන්නා නුඹලාගේ පරමාධිපතිය. එහෙයින් නුඹලාගෙන් කෙනෙකු නුඹලාගේ මෙම කාසි සමග නගරයට එවනු. එහි වඩා පිවිතුරු ආහාරයක් බලා එයින් පෝෂණය (ආහාරය) නුඹලා වෙත ඔහු ගෙනෙත්වා ! තවද ඔහු ප්‍රවේශමෙන් සිටිත්වා ! නුඹලා පිළිබඳව කිසිවෙකුට ඔහු නොහැඟිවිය යුතුය’ යැයි ඔවුහු පැවසුවෝය

    Verse 20

    නියත වශයෙන්ම නුඹලා ව ඔවුන් දුටුවේ නම් ඔවුන් නුඹලා ව ගල් ගසා මරනු ඇත. එසේ නැතහොත් ඔවුන්ගේ දහම තුළට නැවත නුඹලා ව හරවා ගනු ඇත. එවිට නුඹලා කිසිවිටෙක ජය නොලබන්නෙහුය

    Verse 21

    නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සත්‍ය බවද, නියත වශයෙන්ම අවසන් හෝරාව කිසිදු සැකයකින් තොරව පැමිණෙනු ඇතැයිද යන්න ජනයා දැන ගනු පිණිස එලෙස අපි ඔවුන්ගේ තත්වය ගැන නගරවාසීන්ට ප්‍රකාශ කළෙමු. එවිට (ගුහාවේ සිටි පිරිස් සම්බන්ධයෙන්) ඔවුන් ක්‍රියා කළ යුතු ආකාරය ගැන (නගරවාසීන්) එකිනෙකා අතර වාද කරමින් සිටියහ. ඔවුන්ගෙන් සමහරුන් ඔවුන් වෙත තාප්පයක් ඉදි කරනු යැයි පැවැසූහ. ඔවුන් පිළිබඳ ව මැනවින් දන්නා ඔවුන්ගේ පරමාධිපතිය. ඔවුන්ගේ කරුණ සම්බන්ධයෙන් පමණ ඉක්මවා ගියවුන් ඔවුන් වෙනුවෙන් අපි මස්ජිදයක් ඉදි කරමු යැයි පැවසුවෝය

    Verse 22

    තිදෙනෙකි. ඔවුන්ගෙන් සිව්වැන්නා ඔවුන්ගේ සුනඛයා යැයි මතුවට ඔවුහු පවසති. තවද පස් දෙනෙකි. ඔවුන්ගෙන් සයවැන්නා සුනඛයා යැයි ගුප්ත දෑ පිළිබඳ උපකල්පනය කරමින් පවසති. තවද සත් දෙනෙකි. ඔවුන්ගෙන් අටවැන්නා ඔවුන්ගේ සුනඛයා යැයි පවසති. ඔවුන්ගේ සංඛ්‍යාව ගැන මැනවින් දන්නා මාගේ පරමාධිපතිය. ස්වල්ප දෙනෙකු හැර ඔවුන් පිළිබඳ නොදනිති යැයි නුඹ පවසනු. එහෙයින් හෙළි කරන්නා වූ කරුණු සම්බන්ධයෙන් හැර ඔවුන් විෂයයෙහි නුඹ තර්ක නොකරනු. ඔවුන් පිළිබඳ තීන්දු ඔවුන් කිසිවෙකුගෙන් නොඅසනු

    Verse 23

    යම් කරුණක් සඳහා නියත වශයෙන්ම මම එය හෙට දින සිදු කරන්නෙමි යැයි නුඹ නොපැවසිය යුතුය

    Verse 24

    අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස. තවද නුඹට අමතක වී නම් නුඹගේ පරමාධිපති ව මෙනෙහි කරනු. තවද මාගේ පරමාධිපති මීට වඩා සමීප මග පෙන්වීමකින් මට මග පෙන්වන්නට පුළුවනැයි නුඹ පවසනු

    Verse 25

    ඔවුහු ඔවුන්ගේ ලෙන තුළ වසර තුන්සීයක් රැඳී සිටියහ. තවද ඔවුහු (තවත් වසර) නවයක් අමතර ව එකතු කළහ

    Verse 26

    ඔවුන් රැඳී සිටි කාලය පිළිබඳ මැනවින් දන්නා අල්ලාහ්ය. අහස් හි හා මහපොළොවේ ගුප්තය ඔහු සතුය. ඒ පිළිබඳ ව (ඔහු) මහා නිරීක්ෂකය. සර්ව ශ්‍රාවකය. ඔහුගෙන් තොර ව කිසිදු භාරකරුවකු ඔවුනට නොමැත. ඔහුගේ පාලනයෙහි කිසිවකුව ඔහු හවුල් කර නොගනී

    Verse 27

    නුඹගේ පරමාධිපතිගේ ග්‍රන්ථයෙන් නුඹ වෙත හෙළිදරව් කරනු ලැබූ දෑ නුඹ පාරායනය කරනු. ඔහුගේ ප්‍රකාශයන් වෙනස් කරන්නෙකු නොමැත. තවද ඔහුගෙන් තොර ව සරණ පතන ස්ථානයක් ද නුඹ කිසිවිටෙක නොදකිනු ඇත

    Verse 28

    තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් උදේ සවස තම පරමාධිපතිට ප්‍රාර්ථනා කරන්නන් සමඟ නුඹ ද ඉවසා සිටිනු. මෙලොව ජීවිතයේ අලංකාරය ප්‍රිය කරමින් නුඹගේ දෑස් ඔවුන්ගෙන් ඉවතට යොමු නොකරනු. තම ආශාවන් අනුගමනය කළා වූ ද, අප ව මෙනෙහි කිරීමෙන් ඔහුගේ හදවත නොසැලකිලිමත්භාවයට අප පත් කළා වූ අයට නුඹ අවනත නොවනු. තවද ඔහුගේ කරුණ අපතේ යන්නක් විය

    Verse 29

    තවද සත්‍යය නුඹලාගේ පරමාධිපති ගෙන් යැයි නුඹ පවසනු. එහෙයින් කවරෙකු අභිමත කළේ ද ඔහු විශ්වාස කරත්වා ! තවද කවරෙකු අභිමත කළේ ද ඔහු ප්‍රතික්ෂේප කරත්වා ! නියත වශයෙන්ම අපි අපරාධකරුවන්ට (නිරා) ගින්නක් සූදානම් කර ඇත්තෙමු. එහි ගිනි දලු ඔවුන් ව වටලා ගෙන තිබේ. ඔවුහු (පිපාසය සඳහා) පිහිට පතන්නේ නම් මුහුණු දවාළන ලෝදිය මෙන් වූ පානයක් ඔවුනට පිහිට සඳහා දෙනු ලැබේ. එය නපුරු පානයක් විය. වාසස්ථානයෙන් ද නපුරු විය

    Verse 30

    නියත වශයෙන්ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ක්‍රියාවෙන් වඩාත් යහපත් දෑ කළවුන්ගේ ප්‍රතිඵල සැබැවින්ම අපි අපතේ නොහරින්නෙමු

    Verse 31

    ඔවුනට සදාතනික (ස්වර්ග) උයන් ඇත. ඔවුනට පහළින් ගංගාවෝ ගලා බසිති. එහි රනින් වූ වළලු වලින් ඔවුහු පලන්දවනු ලබති. ඔවුහු සිනිඳු සේද හා ගන සේද වලින් යුත් කොළ පැහැති ඇඳුම් අඳිති. එහි ඔවුහු කවිච්චි මත හාන්සිවෙමින් සිටිති. එම ප්‍රතිඵලය යහපත් විය. එය වාසස්ථානයෙන් ද අලංකාරවත් විය

    Verse 32

    මිනිසුන් දෙදෙනෙකුගේ උපමාව නුඹ ඔවුනට ගෙන හැර පානු. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුට අපි මිදි වලින් යුත් උයන් දෙකක් ඇති කළෙමු. ඒ දෙක ඉඳි ගස්වලින් වට කළෙමු. තවද අපි ඒ දෙක අතර කෙත් යායක් ඇති කළෙමු

    Verse 33

    එම වතු දෙක එහි ඵලදාව දුන්නේය. ඉන් කිසිවකින් අඩුවක් නොකළේය. තවද ඒ දෙක අතර ගංගාවක් අපි ඇති කළෙමු

    Verse 34

    තවද ඔහුට (මනා) ඵලදාවක් විය. එවිට ඔහු ඔහුගේ මිතුරා සමග සාකච්ඡාවේ යෙදිමින් ‘මම නුඹට වඩා ධනයෙන් අධික කෙනෙකි. තවද පුද්ගල වශයෙන් ද අති ගෞරවනීය කෙනෙකි’ යැයි පවසා සිටියේය

    Verse 35

    තවද ඔහු තමන්ටම අපරාධ කර ගත්තෙකු ලෙසින් ඔහුගේ උයනට පිවිසීය. ‘මෙය කිසිවිටෙක විනාශ වන්නක් බව මම නොසිතමි

    Verse 36

    අවසන් හෝරාව සිදුවන්නක් බව ද මම නොසිතමි. මාගේ පරමාධිපති වෙත මම නැවත යොමු කරනු ලැබුව ද (එසේ) හැරී යන ස්ථානයේ මීට වඩා ශ්‍රේෂ්ඨ දෑ මම ලබන්නෙමි’ යැයි ඔහු පැවසුවේය

    Verse 37

    ඔහුගේ මිතුරා ඔහු සමග සාකච්ඡාවේ යෙදෙමින් ‘නුඹ ව පසින් ද පසු ව ශුක්‍රාණුවෙන් ද මවා මිනිසෙකු ලෙසින් නුඹ ව සැකසූ අයට නුඹ ගුණමකු වන්නෙහි ද?’ යැයි විමසා සිටියේය

    Verse 38

    එනමුත් මාගේ පරමාධිපති අල්ලාහ් වන ඔහුය. තවද මම මාගේ පරමාධිතිට කිසිවකු ආදේශ නොකරමි

    Verse 39

    නුඹ නුඹේ උයනට පිවිසුණු විට මාෂා අල්ලාහු ලා කුව්වත ඉල්ලා බිල්ලාහ් (අල්ලාහ් අභිමත කරන අයුරිනි. අල්ලාහ්ගෙන් තොර ව මිස කිසිදු ශක්තියක් නොමැත) යැයි පැවසිය යුතු නොවේ ද? ධනයෙන් හා දරුවන්ගෙන් නුඹට වඩා අඩු කෙනෙකු ලෙස නුඹ මා දුටුවද

    Verse 40

    මාගේ පරමාධිපති නුඹේ උයනට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මා වෙත පිරිනමා ඒ (නුඹගේ උයන) වෙත ගින්නක් එවන්නට පුළුවන. එවිට එය නිසරු තැනිතලාවක් බවට පත් වනු ඇත

    Verse 41

    එසේ නැතහොත් එහි ජලය සිඳී යන්නක් බවට පත් කරනු ඇත. එවිට එය සෙවීමට නුඹ කිසිවිටෙක හැකියාව නොදරනු ඇත

    Verse 42

    තවද ඔහුගේ පලදාව (විනාශයෙන්) වෙළා ගනු ලැබීය. ඒ සඳහා තමන් වියදම් කර තිබිය දී එහි උඩුවියන ද ගරා වැටී තිබිය දී (ඒ ගැන කනස්සල්ලට පත් ව) තම දෙඅත් පෙරළමින් ‘ අහෝ ! මාගේ විනාශය ! මම මාගේ පරමාධිපතිට කිසිවකු ආදේශ නොකර සිටියේ නම්’ යැයි පවසන්නෙකු බවට පත් විය

    Verse 43

    තවද අල්ලාහ්ගෙන් තොර ව ඔහුට උදව් කරන කිසිදු පිරිසක් ඔහුට නොවීය. තවද ඔහු (විනාශ මුඛයේ දී තමන්ටම) උදව් කර ගන්නකු ද නොවීය

    Verse 44

    මෙහි පාලන බලය සත්‍යය වූ අල්ලාහ් සතුය. ඔහු කුසල් පිරිනැමීමෙන් අති ශ්‍රේෂ්ඨය එමෙන්ම අවසානයෙන් ද අති ශ්‍රේෂ්ඨය

    Verse 45

    මෙලොව ජීවිතයේ උපමාව ඔවුනට නුඹ ගෙන හැර පෙන්වනු. (එය) අපි අහසින් පහළ කළා වූ ජලය මෙනි. ඒ සමග මහපොළොවේ පැළෑටි මුසු වෙයි. පසු ව එය ඉපනැලි බවට පත් ව සුළඟ එය ගසා ගෙන යයි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි බලසම්පන්නය

    Verse 46

    වස්තුව හා දරුවන් මෙලොව ජීවිතයේ අලංකාරයන්ය. ශේෂ ව පවතින යහකම් නුඹගේ පරමාධිපති අබියස තිළිණ වශයෙන් උතුම්ය. බලාපොරොත්තු තැබීමෙන් ද උතුම්ය

    Verse 47

    තවද එදින අපි කඳු ගමන් කරවන්නෙමු. නුඹ මහපොළොව මුඩු එළිමහනක් බව දකින්නෙහිය. තවද අපි ඔවුන් ව රැස් කරන්නෙමු. එවිට ඔවුන්ගෙන් කිසිවකු ව අපි අත් නොහරින්නෙමු

    Verse 48

    තවද ඔවුහු නුඹගේ පරමාධිපති වෙත පෙළට ඉදිරිපත් කරනු ලබති. සැබැවින්ම අපි නුඹලා ව මුල් වරට මැව්වාක් මෙන්ම නුඹලා අප වෙත පැමිණ ඇත. නමුත් ‘නුඹලාට (නැවත නැගිටුවනු ලැබීමේ) ප්‍රතිඥාව අපි ඇති නොකරන්නේමය’ යැයි නුඹලා සිතුවෙහුය

    Verse 49

    වාර්තා පොත තබනු ලැබේ. එවිට වැරදිකරුවන් එහි ඇති දෑ ගැන බියට පත්වෙමින් සිටිනු නුඹ දකිනු ඇත. තවද ඔවුහු ‘අහෝ ! අපගේ විනාශය ! මෙම වාර්තාවට කුමක් සිදු වී ඇත් ද? එය කුඩා දෙයක් හෝ මහා දෙයක් හෝ සටහන් කර තිබෙනු මිස නැත. ඔවුන් සිදු කළ දේ (තමන්) ඉදිරියේම ඔවුහු දැක ගනිති. නුඹගේ පරමාධිපති කිසිවකුට අපරාධයක් නොකරයි

    Verse 50

    නුඹලා ආදම්ට සුජූද් (ආචාර) කරනු" යයි මලක්වරුන්ට අපි පැවසූ අවස්ථාව සිහියට නගනු. එවිට ඉබ්ලීස් හැර (සෙස්සන්) සුජූද් (ආචාර) කළෝය. ඔහු ජින් වර්ගයාගෙන් විය. ඔහු ඔහුගේ පරමාධිපතිගේ අණට අකීකරු විය. එහෙයින් නුඹලා මා හැර ඔහු හා ඔහුගේ පරපුර භාරකරුවන් ලෙස ගන්නෙහු ද? තවද ඔවුහු නුඹලාට සතුරුය. (අල්ලාහ්) වෙනුවට ( වෙනත් ආරක්ෂකයින් ) ගැනීම අපරාධකරුවන්ට නපුරු විය

    Verse 51

    අහස් හා මහපොළොව මැවීමට හෝ නුඹලා ව මැවීමට හෝ ඔවුන් ව සාක්ෂි වශයෙන් මා නොගත්තෙමි. එමෙන්ම මම උදව්කරුවන් වශයෙන් නොමග යවන්නවුන් ගන්නෙකු ද නොවූයෙමි

    Verse 52

    තවද එදින ‘නුඹලා උකල්පනය කරමින් මට ආදේශ කළවුන් ව නුඹලා කැඳවනු’ යැයි ඔහු පවසයි. එවිට ඔවුහු ඔවුන් ව කැඳවති. නමුත් ඔවුහු ඔවුනට ප්‍රතිචාර නොදක්වති. ඔවුන් අතර විනාශකාරී ස්ථානයක් අපි ඇති කළෙමු

    Verse 53

    තවද වැරදිකරුවන් (නිරා) ගින්න දකිනු ඇත. එවිට නියත වශයෙන්ම තමන් එහි වැටෙන්නාක් මෙන් ඔවුහු සිතති. ඉන් හැරීමක් ඔවුහු නොදකිනු ඇත

    Verse 54

    තවද සැබැවින්ම අපි ජනයාට සෑම උපමාවකින්ම මෙම කුර්ආනයේ විවිධාකාරයෙන් විස්තර කර ඇත්තෙමු. තවද මිනිසා බොහෝ දෑ ගැන විවාදශීලී විය

    Verse 55

    මුතුන්මිත්තන්හට අත් වූ ඉරණම තමන් වෙත නොපැමිණීමත් (ඔවුන්) ඉදිරියේදීම දඬුවම ඔවුන් වෙත නොපැමිණීමත් මිස ඔවුන් වෙත යහමග පැමිණි විට ඔවුන් විශ්වාස කිරීමට හා ඔවුන්ගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටීමට ජනයා වැළැක්වූයේ නැත

    Verse 56

    තවද ධර්ම දූතරවරුන් ශුභාරංචි දන්වන්නන් හා අවවාද කරන්නන් ලෙසින් මිස අපි නොඑව්වෙමු. තවද ප්‍රතික්ෂේප කළවුන් එමගින් සත්‍යය අසත්‍යය කිරීම පිණිස අසත්‍ය දෑ රැගෙන තර්ක කරති. තවද ඔවුහු මාගේ සංඥාවන් හා අවවාද කරනු ලැබූ දෑ උපහාසයට ගත්තෝය

    Verse 57

    තම පරමාධිපතිගේ වදන් මෙනෙහි කරනු ලැබ, ඉන් පසු ව එය නොසලකා හැර තම දෑත් ඉදිරිපත් කළ දෑ අමතක කර දැමූ අයට වඩා මහා අපරාධ කරු කවුරුද? එය ඔවුහු අවබෝධ කර ගැනීමට (නොහැකිවන සේ) සැබැවින්ම අපි ඔවුන්ගේ හදවත් මත වැස්මක් ද ඔවුන්ගේ සවන් වලට බිහිරිභාවය ද ඇති කළෙමු. තවද යහ මග වෙත නුඹ ඔවුන් ඇරයුම් කළ ද ඔවුහු කිසිවිටෙක යහ මග නොලබන්නෝමය

    Verse 58

    තවද නුඹගේ පරමාධිපති අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය. ඔවුහු ඉපැයූ දෑ හේතුකොට ගෙන ඔහු ඔවුන් ව ග්‍රහණය කරන්නේ නම් ඔවුනට දඬුවම ඔහු ඉක්මන් කරනු ඇත. නමුත් ඔවුනට නියමිත කාලයක් ඇත. ඔහුගෙන් තොර ව බේරී යාමක් ඔවුහු නොදකින්නෝමය

    Verse 59

    තවද එම ගම්වාසීහු, ඔවුන් අපරාධ කළ කල්හි අපි ඔවුන් ව විනාශ කළෙමු. තවද අපි ඔවුන්ගේ විනාශයට නියමිත කාල අවකාශයක් ඇති කළෙමු

    Verse 60

    මුහුඳු දෙක එක් වන තැනට මම ළඟා වන තෙක් හෝ දිගු කාලයක් මම ගත කරන තෙක් හෝ මම ගමන නොනවත්වමි යැයි තම (සේවක) කොලුවාට මූසා පැවසූ අවස්ථාව සිහිපත් කරනු

    Verse 61

    ඒ දෙක අතර එක් වන තැනට ඔවුන් දෙදෙනා ළඟා වූ කල්හි ඔවුන් දෙදෙනාගේ මත්සයා ඔවුන් දෙදෙනාට අමතක විය. ඌ උගේ මාර්ගය මුහුදෙහි උමගක් ලෙසින් ගත්තේය

    Verse 62

    පසු ව ඔවුන් දෙදෙනා තරණය කළ කල්හි ඔහු ඔහුගේ (සේවක) කොලුවාට ‘අපගේ ආහාරය අප වෙත ගෙන එන්න. අපි අපගේ ගමනින් වෙහෙසට පත් ව ඇත්තෙමු’ යැයි පැවසීය

    Verse 63

    මෙම ගල්පර්වතය වෙත අපි (අපගේ ගමන) අවසන් කළ විට සැබැවින්ම මත්සයා මට අමතක වූ බව නුඹ නොදුටුවෙහි ද? එය මා සිහි කිරීමට මා හට එය අමතක කළේ ෂෙයිතාන් හැර වෙනත් කිසිවකු නොවේ. මුහුදේ ඌ උගේ ගමන් මග පුදුමාකාර අයුරින් ගත්තේය යැයි ඔහු පැවසීය

    Verse 64

    අපි සොයමින් සිටි දෑ (තැන) එය වේ යැයි ඔහු පැවසීය. පසු ව ඔවුන් දෙදෙනා (කතා කරමින්) ඔවුන් දෙදෙනාගේ සලකුණු ඔස්සේ නැවත හැරී ගියහ

    Verse 65

    එවිට ඔවුන් දෙදෙනාම අපගේ ගැත්තන් අතුරින් එක් ගැත්තෙකු ව මුණ ගැසුණහ. අපි ඔහුට අප වෙතින් වූ ආශිර්වාදය ලබා දුනිමු. තවද අප වෙතින් වූ ඥානය ද අපි ඔහුට ඉගැන්වූයෙමු

    Verse 66

    යහ මගින් ඔබට උගන්වනු ලැබූ දැයින් ඔබ මට ඉගැන්වීම මත මම ඔබ ව අනුගමනය කරන්නදැයි මූසා ඔහුගෙන් විමසුවේය

    Verse 67

    නියත වශයෙන් මා සමගින් ඉවසා සිටීමට ඔබ හැකියාව නොදරන්නෙහිම යැයි ඔහු පැවසුවේය

    Verse 68

    තවද තොරතුරු වශයෙන් කවර දෙයක් පිළිබඳ නුඹට දැනුම නොමැත්තේද එවන් දෙයක් මත නුඹ ඉවසා සිටිනුයේ කෙසේද

    Verse 69

    අල්ලාහ් අභිමත කළේ නම් ඔබ මා ඉවසිලිවන්තයකු ලෙස දැක ගනු ඇත. තවද කිසිදු අණකට මම නුඹට පිටු නොපාමි යැයි ඔහු පැවසුවේය

    Verse 70

    එසේ නුඹ මා අනුගමනය කරන්නෙහි නම් කිසිවක් පිළිබඳ මම නුඹට මෙනෙහි කර පවසන තෙක් නුඹ ඒ ගැන මගෙන් විමසිය නොයුතු යැයි ඔහු පැවසුවේය

    Verse 71

    පසු ව නැවේ ගොඩ වී ගමන් ගන්නා තෙක් ඔවුන් දෙදෙනා ගමන් ගත්හ. ඔහු (හදිර් නැමැත්තා) එය සිදුරු කළේය. එහි වූ වැසියන් ඔබ ගිල්වනු පිණිස ඔබ එය සිදුරු කළෙහි ද? සැබැවින්ම ඔබ මහත් වූ කරුණක් වෙත පැමිණියෙහිය යැයි ඔහු (මූසා) පැවසුවේය

    Verse 72

    නියත වශයෙන්ම ඔබ මා සමග ඉවසා දරා ගැනීමට හැකියාව නොදරන්නෙහිමය යැයි මම නොකීවෙම්දැයි ඔහු විමසීය

    Verse 73

    මා අමතක කළ දෑ හේතුවෙන් ඔබ මා වරදට නොගනු. තවද මාගේ විෂය සම්බන්ධයෙන් ඔබ මා අපහසුතාවට ලක් නොකරනු යැයි ඔහු (මූසා) පැවසුවේය

    Verse 74

    පසු ව දෙදෙනාම දරුවකු මුණ ගැසෙන තෙක් ගමන් ගත්හ. එවිට ඔහු (හදිර්) ඔහු ව මරා දැමුවේය. (එවිට මූසා) කිසිදු ප්‍රාණ අයිතියකින් තොර ව පිවිතුරු ආත්මයක් ඔබ මරා දැමුවෙහි ද? ඔබ පිළිකුල් සහගත කරුණක් කර ඇත්තෙහිය යැයි පවසා සිටියේය

    Verse 75

    නියත වශයෙන්ම ඔබ මා සමග ඉවසා දරා ගැනීමට හැකියාව නොදරන්නෙහිමය යැයි මම ඔබට නොකීවෙම්දැයි ඔහු විමසීය

    Verse 76

    මින් පසු ව මම යමක් පිළිබඳ ව නුඹෙන් විමසා සිටියේ නම් මා සමග නුඹ ගමන් නොකරනු. සැබැවින්ම මා වෙතින් නුඹ නිදහසට කරුණක් ලැබුවෙහිය යැයි ඔහු (මූසා) පැවසුවේය

    Verse 77

    පසු ව ඔවුන් දෙදෙනා එක්තරා ගමක වැසියන් වෙත පැමිණෙන තෙක් ගමන් ගත්හ. එහි වැසියන්ගෙන් ඔවුන් දෙදෙනා ආහාර ඉල්ලා සිටියහ. එවිට ඔවුන් දෙදෙනාට ආගන්තුක සත්කාර කිරීමට ඔවුහු ප්‍රතික්ෂේප කළෝය. එවිට ඔවුන් දෙදෙනා එහි ගරා වැටෙන්නට යන බිත්තියක් දුටුහ. එවිට ඔහු එය කෙළින් කළේය. (මෙය දුටු) ඔහු (මූසා) ඔබ අභිමත කළේ නම් ඒ සඳහා ඔබට කුලියක් ලබා ගන්නට තිබුණි යැයි පැවසීය

    Verse 78

    මෙය මා අතර හා ඔබ අතර වෙන්වීම (ට ඇති කාලය) වේ. ඔබ කවර දෙයක් මත ඉවසා සිටීමට නොහැකි වූයේද එහි යථාර්ථය මම නුඹට දන්වමි යැයි ඔහු (හදිර්) පැවසුවේය

    Verse 79

    එම නැව වූ කලී එය මුහුදෙහි සේවය කරන දිළින්දන් සතු විය. එහෙයින් මම එය පළුදු කරන්නට සිතුවෙමි. හේතුව සෑම නැවක්ම බලහත්කාරයෙන් ගන්නා රජකු ඔවුනට පසුපසින් විය

    Verse 80

    තවද එම දරුවා වූ කලී, ඔහුගේ දෙමාපියන් දේව විශ්වාසවන්තයින් දෙදෙනකු වූහ. එහෙයින් සීමාව ඉක්මවා යමින් හා දේව ප්‍රතික්ෂේප භාවයෙන් ඔවුන් දෙදෙනාට ඔහු බරපතළකම් සිදු කිරීම ගැන අපි බිය වූයෙමු

    Verse 81

    එහෙයින් ඔවුන්ගේ පරමාධිපති ඔහුට වඩා ශ්‍රේෂ්ඨ පිවිතුරු භාවයෙන් යුත් සෙනෙහසින් වඩාත් සමීප වූ කෙනෙකු ඔවුන් දෙදෙනාට හුවමාරු කර දෙනු ඇතැයි අපි සිතුවෙමු

    Verse 82

    තවද එම බිත්තිය වූ කලී, එය නගරයේ විසූ අනාථ දරුවන් දෙදෙනකු සතු විය. තවද ඔවුන් දෙදෙනා සතු නිධන් වස්තුවක් ඊට යටින් විය. තවද ඔවුන් දෙදෙනාගේ පියා දැහැමියකු විය. එවිට නුඹගේ පරමාධිපතිගේ දයාවෙන් ඔවුන් දෙදෙනා වැඩිවියට පත් ව පසු ව ඔවුන් දෙදෙනාගේ නිධන් වස්තුව ඔවුන් දෙදෙනා මතු කර ගන්නට නුඹගේ පරමාධිපති සිතුවේය. මාගේ තීරණයට අනුව මම මෙය සිදු නොකළෙමි. නුඹ කවර දෙයක් මත ඉවසීමෙන් සිටීමට නොහැකි වූයේ ද එහි යථාර්ථය මෙය වේ

    Verse 83

    (අහෝ නබිවරය,) ඔවුහු නුඹගෙන් දුල් කර්නයින් පිළිබඳ විමසති. ඔහු පිළිබඳ සිහිපත් කරමින් නුඹලා වෙත මම මතුවට කියවා පෙන්වමි යැයි නුඹ පවසනු

    Verse 84

    නියත වශයෙන්ම අපි මහපොළොවෙහි ඔහුට පහසුකම් සලසා දුනිමු. තවද සෑම දෙයකින්ම ඔහුට හේතු සාධක පිරිනැමුවෙමු

    Verse 85

    එවිට ඔහු (මාර්ග) සාධක අනුගමනය කළේය

    Verse 86

    හිරු අවරට යන ස්ථානයට ඔහු ළඟා වූ විට රත් වූ කළු මඩ සහිත ස්ථානයෙහි එය අවරට යනු ඔහු දුටුවේය. තවද ඒ අසල සිටි පිරිසක් ද ඔහු දුටුවේය. අහෝ ! දුල් කර්නයින් නුඹ දඬුවම් කරනු. නැතහොත් ඔවුන් අතර යහපත් අයුරින් කටයුතු කරනු යැයි අපි පැවසුවෙමු

    Verse 87

    අපරාධ කළවුන් සම්බන්ධයෙන් නම් එවිට අපි ඔහුට දඬුවම් කරන්නෙමු. පසු ව ඔහුගේ පරමාධිපති වෙත ඔහු ව නැවත යොමු කරනු ලැබේ. එවිට බිහිසුණු දඬුවමකින් ඔහු ඔහුට දඬුවම් කරනු ඇත

    Verse 88

    විශ්වාස කොට යහකම් කළවුන් සම්බන්ධයෙන් නම් එවිට ඔහුට යහපත් ප්‍රතිඵල සතුය. තවද අපගේ නියෝගයෙන් පහසු දෑ අපි ඔහුට පවසන්නෙමු

    Verse 89

    පසු ව (මාර්ග) සාධකයක් ඔහු අනුගමනය කළේය

    Verse 90

    හිරු උදා වන තැනට ඔහු ළඟා වූ විට අපි ඔවුනට කිසිදු ආවරණයක් ඇති නොකළ පිරිසක් වෙත එය උදා වනු ඔහු දුටුවේය

    Verse 91

    එලෙසය. ඔහු සතු ව ඇති දෑ මනා දැනුමෙන් අපි සර්ව ප්‍රකාරයෙන් දැන සිටියෙමු

    Verse 92

    පසු ව ඔහු (මාර්ග) සාධකයක් අනුගමනය කළේය

    Verse 93

    ඔහු කඳු දෙක අතරට ළඟා වූ විට කිසිදු වචනයක් වටහා ගන්නට නොහැකි පිරිසක් ඒ දෙක පාමුල ඔහු දුටුවේය

    Verse 94

    අහෝ ! දුල් කර්නයින්, නියත වශයෙන්ම යඃජූජ් හා මඃජූජ් මහපොළොවේ කලහකාරීහුය. එහෙයින් අප අතර හා ඔවුන් අතර ඔබ ආරක්ෂක පවුරක් ඇති කිරීම වෙනුවෙන් අපි ඔබට යම් දීමනාවක් කළ යුතු දැයි ඔවුහු විමසුවෝය

    Verse 95

    මාගේ පරමාධිපති එහි මට පහසුකම් වශයෙන් ලබා දුන් දෑ ශ්‍රේෂ්ඨය. එබැවින් නුඹලා ශක්තිමත් ව මට උදව් කරනු. මම නුඹලා අතර හා ඔවුන් අතර බාධකයක් තබමි යැයි ඔහු පැවසුවේය

    Verse 96

    කදු පාමුල දෙක අතර සමාන වන තරමට නුඹලා මා වෙත ගණ යකඩ කුට්ටි ගෙන එනු. එය ගිනියම් බවට පත් වන තෙක් නුඹලා පිඹිනු යැයි ඔහු පැවසුවේය. ඒ මත උණු කළ තඹ මා වක් කරනු පිණිස මා වෙත නුඹලා (එය) ගෙන එනු යැයි පැවසුවේය

    Verse 97

    එවිට ඉන් බැහැර වන්නට (යඃජූජ් මඃජූජ් වන) ඔවුහු ශක්තිය නොදැරූහ. තවද එයට සිදුරක් කරන්නට ද ඔවුහු ශක්තිය නොදැරූහ

    Verse 98

    මෙය මාගේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයකි. එහෙයින් මාගේ පරමාධිපතිගේ ප්‍රතිඥාව පැමිණි විට ඔහු එය කැබලි බවට පත් කරයි. තවද මාගේ පරමාධිපතිගේ ප්‍රතිඥාව සැබෑවක් විය

    Verse 99

    එදින ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකු තුළ රළ මෙන් නගින්නට අපි අත හැර දමන්නෙමු. තවද හොරණෑවෙහි පිඹිනු ලැබේ. එවිට අපි ඔවුන් සියල්ල එක් රැස් කරන්නෙමු

    Verse 100

    එදින දේව ප්‍රතික්ෂේපකයිනට නිරය ප්‍රදර්ශනයක් ලෙස අපි ප්‍රදර්ශනය කර පෙන්වන්නෙමු

    Verse 101

    ඔවුහු වනාහි, මා සිහිපත් කිරීමෙන් ඔවුන්ගේ ඇස් ආවරණයක් තුළ වූ අය වෙති. තවද සවන් දෙන්නට ඔවුහු ශක්තිය නොදරන්නන් ලෙස සිටියහ

    Verse 102

    මාගෙන් තොර ව මාගේ ගැත්තන් තම භාරකරුවන් ලෙස ගැනීමට දේව ප්‍රතික්ෂේප කළවුන් සිතුවෝ ද? නියත වශයෙන්ම දේව ප්‍රතික්ෂේපකයින්ට නවාතැනක් වශයෙන් නිරය අපි සූදානම් කළෙමු

    Verse 103

    ක්‍රියාවන්ගෙන් අලාභහානි කර ගත්තවුන් පිළිබඳ ව අපි නුඹලාට දන්වන්නදැයි නුඹ විමසනු

    Verse 104

    ඔවුන් වනාහි මෙලොව ජීවිතයේ තම වෑයම් මුළා වී ගියවුන්ය. නියත වශයෙන්ම තමන් ක්‍රියාවෙන් දැහැමි දෑ කරන්නන් බව ඔවුහු සිතති

    Verse 105

    තම පරමාධිපතිගේ වදන් හා ඔහුගේ හමු ව ප්‍රතික්ෂේප කළවුන් මොවුහුමය. එවිට ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල වී යනු ඇත. එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ (ඉන්) යම් කිරුම් බරක් ඔවුනට තක්සේරු නොකරන්නෙමු

    Verse 106

    එය ඔවුහු ප්‍රතික්ෂේප කළ බැවින් හා මාගේ වදන් හා මාගේ රසූල්වරුන් ඔවුහු සමච්චලයට ගත් බැවින් ඔවුන්ගේ ප්‍රතිවිපාකය නිරයයි

    Verse 107

    නියත වශයෙන්ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි, නවාතැනක් වශයෙන් ෆිර්දවුස් නම් උයන් ඔවුනට විය

    Verse 108

    එහි ඔවුන් සදාතනිකයින්ය. එයින් මාරුවීමක් ඔවුහු ප්‍රිය නොකරති

    Verse 109

    මාගේ පරමාධිපතිගේ වදන් (ලිවීමට) තීන්ත බවට මුහුද පත් වුව ද මාගේ පරමාධිපතිගේ වදන් (ලියා) නිමා වීමට පෙර මුහුද සිඳී යනු ඇත. එවන් (මුහුද) හා සමාන දෙයක් අපි අමතර ව ගෙන ආව ද (එය ද ප්‍රමාණවත් නොවනු ඇත)

    Verse 110

    මම නුඹලා මෙන් මිනිසෙකු පමණි. නුඹලාගේ දෙවිඳුන් එකම දෙවිඳෙකු යැයි මා වෙත දන්වනු ලැබ ඇත. එහෙයින් කවරෙකු තම පරමාධිපතිගේ හමු ව අපේක්ෂා කරන්නේ ද ඔහු දැහැමි ක්‍රියාවන් සිදු කරත්වා ! තම පරමාධිපතිට ගැතිකම් කිරීමෙන් කිසිවකු ආදේශ නොකරත්වා ! යැයි (නබිවරය,) නුඹ පවසනු