Back to Languages
Sinhala - Chapter 22
Translation by Www.islamhouse.com
Verse 1
අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපතිට නුඹලා බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අවසන් හෝරාවේ කම්පනය අතිමහත් කරුණකි
Verse 2
නුඹලා එය දකින දින, කිරි දෙන සෑම මවක්ම තමන් කිරි දෙන අයගෙන් (තම අවධානය) වෙනතකට යොමු කරයි. තවද දරු ගැබ් ගත් සෑම කතක්ම ඇයගේ ගැබ්බර (බිම) හෙළයි. තවද නුඹ ජනයා මත් බවින් සිටිනු දකියි. නමුත් ඔවුන් මත් බවින් නොවෙති. එනමුත් අල්ලාහ්ගේ දඬුවම ඉතා දැඩිය
Verse 3
තවද කිසිදු දැනුමකින් තොරව අල්ලාහ් සම්බන්ධයෙන් තර්ක කරන්නාද ජනයා අතුරින් වෙති. අකීකරු සෑම ෂෙයිතානුවෙක්ම ඔහු අනුගමනය කරයි
Verse 4
තමන් භාරකරුවකු වශෙයන් ගත් අය, නියත වශයෙන්ම ඔහු තමාව නොමඟ යවනු ඇත. තවද ඇවිළෙන නිරා ගින්නේ දඬුවමට ඔහු මග පෙන්වනු ඇතැයි ඔහු කෙරෙහි නියම කරන ලදී
Verse 5
අහෝ ජනයිනි! නැවත නැගිටුවනු ලැබීම පිළිබඳ නුඹලා සැකයක පසුවූයේ නම් එවිට (දැන ගනු) නුඹලාට (යථාර්ථය) පැහැදිලි කරනු වස් නියත වශයෙන්ම අපි නුඹලා ව පසින්ද, පසු ව ශුක්‍රාණුවෙන්ද, පසු ව ලේ කැටියෙන් ද, පසු ව හැඩ ඇති හා හැඩ නොමැති මස් පිඩුවෙන්ද (යන අනුපිළිවෙළින්) මැව්වෙමු. තවද අප අභිමත කරන පරිදි නියමිත කාලයක් දක්වා අපි ගැබ්තුළ රඳවන්නෙමු. පසු ව අපි බිළිදෙකු ලෙසින් නුඹලා ව බැහැර කරන්නෙමු. පසු ව නුඹලා වැඩිවියට පත් වනු ඇත. තවද නුඹලා අතර මරණයට පත්වන්නන් ද එමෙන්ම නුඹලා අතර ඥානය ලැබීමෙන් පසු කිසිවක් නොදන්නා තරමට වයෝවෘද්ධභාවය දක්වා ආයුෂ පිරිනමනු ලබන්නන්ද වෙති. තවද නුඹ මහපොළොව වියළි ව දකිනු ඇත. අපි ඒ මත ජලය පහළ කළ විට එය විකසිත වී, වැඩී සරුසාර සෑම වර්ගයකින්ම පැළෑටි හට ගනියි
Verse 6
එය නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු සත්‍යය බැවිනි. තවද නියත වශයෙන්ම ඔහු මළවුන්ට ජීවය දෙයි. තවද නියත වශයෙන්ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය
Verse 7
තවද නියත වශයෙන්ම අවසන් හෝරාව පැමිණෙන්නකි. එහි කිසිදු සැකයක් නොමැත. තවද නියත වශයෙන්ම මිනිවළවල් තුළ සිටින්නන්ව අල්ලාහ් නැගිටුවයි
Verse 8
කිසිදු දැනුමකින් තොර ව එමෙන්ම කිසිදු මග පෙන්වීමකින් තොර ව හා ආලෝකමත් දේව ග්‍රන්ථයකින් තොර ව අල්ලාහ් විෂයයෙහි තර්ක කරන්නන් ජනයා අතර සිටිති
Verse 9
(ඔහු) අල්ලාහ්ගේ මාර්ගයෙන් නොමග යැවීමට තම ගෙල පැත්ත වෙනතකට හරවමින් සිටියි. ඔහුට මෙලොවෙහි අවමානය ඇත. තවද අපි ඔහුට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැවෙන (ගින්නේ) දඬුවම භුක්ති විඳින්නට සලස්වන්නෙමු
Verse 10
එය නුඹගේ දෑත් ඉදිරිපත් කළ දෑ හේතුවෙනි. තවද නියත වශයෙන්ම අල්ලාහ් ගැත්තන්හට අපරාධ කරන්නෙකු නොවේ
Verse 11
තවද ජනයා අතුරින් සැකය මත සිට අල්ලාහ්ට ගැතිකම් කරන්නාද වෙයි. යම් යහපතක් ඔහුට ඇති වූයේ නම් එමගින් ඔහු සැනසුමට පත් වෙයි. නමුත් ඔහුට යම් අර්බුදයක් ඇති වූයේ නම් ඔහුගේ මුහුණ මත හැරී යයි. මෙලොවෙහි හා මතු ලොවෙහි ඔහු පරාජිත විය. ප්‍රකට ඉමහත් පරාජය එයමය
Verse 12
ඔහු අල්ලාහ් හැර තමන්ට හානියක් සිදු කළ නොහැකි එමෙන්ම තමන්ට ඵලක් නොදෙන දෑට අයැද සිටියි. එයමය අන්ත මුළාව වනුයේ
Verse 13
ඔහුගේ ප්‍රයෝජනයට වඩා ඔහුගේ හානිය සමීප ව ඇත්තාගෙන් ඔහු අයැද සිටියි. (එසේ ඔහු පතන) එම භාරකරු නපුරු විය. තවද එම සහකරු නපුරු විය
Verse 14
නියත වශයෙන්ම අල්ලාහ් විශ්වාස කොට යහකම් කළවුන් ඊට යටින් ගංගා ගලා බස්නා (ස්වර්ග) උයන් වෙත ඇතුළත් කරයි. නියත වශයෙන්ම අල්ලාහ් තමන් සිතන දෑ සිදු කරයි
Verse 15
මෙලොව හා මතු ලොව අල්ලාහ් ඔහුට (මුහම්මද්ට) උදව් නොකරන්නේම යැයි කවරෙකු සිතන්නේ ද, ඔහු අහස දෙසට ආධාරයක් දිගු කොට (පසුව අල්ලාහ් ඔහුට දෙන උදව් උපකාර) කපාහරිත්වා! එවිට ඔහුගේ කුමන්ත්‍රණය ඔහු කෝපය ඇති කරන දෑ ඉවත් කරනු ඇත්දැයි ඔහු බලත්වා
Verse 16
එලෙස අපි මෙය පැහැදිලි සංඥාවන් වශයෙන් පහළ කළෙමු. තවද නියත වශයෙන්ම අල්ලාහ් ඔහු අභිමත කරන අයට මග පෙන්වයි
Verse 17
නියත වශයෙන්ම විශ්වාස කළවුන් ද යුදෙව් වූවන් ද සාබිඌන්වරු (සමහර නබිවරුව අනුගමනය කළ සමූහයක්) ද කිතුනුවන් ද ගිනි පුදන්නන් ද ආදේශ කළවුන් ද නියත වශයෙන්ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුන් අතර වෙන් කරයි. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි නිරීක්ෂකය
Verse 18
අහස්හි සිටින අය ද මහපොළොවේ සිටින අය ද හිරු ද සඳු ද තාරකා ද කඳු ද ගස් ද සතුන් ද ජනයා අතුරින් බහුතරයක් දෙනා ද නියත වශයෙන්ම අල්ලාහ්ට සුජූද් කරනු නුඹ නොදුටුවෙහි ද? නමුත් බහුතරයක් දෙනා කෙරෙහි දඬුවම නියම විය. අල්ලාහ් කවරෙකු අවමන් කළේ ද එවිට ගරු කරන කිසිවකු ඔහුට නොමැත. නියත වශයෙන්ම අල්ලාහ් ඔහු අභිමත කරන දෑ සිදු කරයි
Verse 19
මෙම විවාදිත දෙපිරිස තම පරාමාධිපති සම්බන්ධයෙන් විවාද කළෝය. එහෙයින් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුන් හට (නිරා) ගින්නෙන් වූ ඇඟලුම් වෙන් කරන ලදී. ඔවුන්ගේ හිස් වලට ඉහළින් උණු දිය වක් කරනු ලැබේ
Verse 20
ඔවුන්ගේ උදරයන්හි ඇති දෑ හා චර්ම එමගින් දිය කරනු ලැබේ
Verse 21
තවද ඔවුනට යකඩින් වූ මුගුරු ඇත
Verse 22
දුකින් වූ එතැනින් ඔවුන් පිටත් වීමට සිතූ සෑම අවස්ථාවකම ඔවුහු නැවත යොමු කරනු ලබති. තවද නුඹලා දැවෙන ගින්නේ දඬුවම භුක්ති විඳිනු (යැයි පවසනු ලැබේ)
Verse 23
ඊට පහළින් ගංගා ගලා බස්නා (ස්වර්ග) උයන් වලට, විශ්වාස කොට යහකම් කළවුන් නියත වශයෙන්ම අල්ලාහ් ඇතුළත් කරයි. එහි රනින් වූ වළලු ද මුතු ද ඔවුනට පලඳවනු ලැබේ. එහි ඔවුන්ගේ ඇඟලුම් සේදය
Verse 24
තවද ප්‍රකාශයෙන් පිවිතුරු දෑ වෙතට ඔවුහු මග පෙන්වනු ලැබූහ. තවද ප්‍රශංසනීය මාවත වෙත ද ඔවුහු මග පෙන්වනු ලැබූහ
Verse 25
නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කොට ජනයා වෙනුවෙන් එහි රැඳී සිටින්නන්හට හා පිටස්තරයන්හට සමාන ලෙසින් අපි පත් කළ ශුද්ධ වූ මස්ජිදයෙන් හා අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වන්නන් ද (එම දඬුවමට භාජනය වනු ඇත.) තවද කවරෙකු සාපරාධී ලෙසින් එහි කෙලසීමට සිතන්නේ ද වේදනීය දඬුවමකින් භුක්ති විඳින්නට අපි ඔහුට සලස්වමු
Verse 26
(කඃබා ව නම්) ගෘහයේ ස්ථානය ගැන ඉබ්‍රාහීම්ට අපි පැහැදිලි කළ අවස්ථාව සිහිපත් කරනු. එවිට මට කිසිවක් ආදේශ නොකරනු. තවද නුඹ (කඃබා ව වටා) තවාෆ් කරන්නන්හටත් නැගිට නැමදුම් ඉටු කරන්නන් හටත් (කොන්ද නමා දණහිස් අල්ලා) රුකූඃ කරන්නන් හටත් (නළල බිම තබා) සුජූද් කරන්නන්හටත් මාගේ ගෘහය පිරිසිදු කරනු. (යැයි පැවසීය)
Verse 27
තවද හජ් ගැන ජනයා අතර නුඹ නිවේදනය කරනු. ඔවුහු පා ගමනින් ද ගිරිදුර්ග ස්ථානයන්හි සිට පැමිණෙන වැහැරී ගිය සෑම ඔටුවකු මත හිද ද නුඹ වෙත පැමිණෙයි
Verse 28
ඔවුන් සතු ප්‍රයෝජන ඔවුන් දකිනු පිණිසත් නියමිත දින ගණන් වල ගොවිපළ සතුන් අතුරින් ඔහු ඔවුනට පෝෂණය කළ දෑ කෙරෙහි (ඒවා කපන විට) අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු පිණිසත්ය. එහෙයින් නුඹලා එයින් අනුභව කරනු. තවද අවශ්‍යතා ඇත්තා හා දිළින්දාට ආහාර සපයනු
Verse 29
පසු ව ඔවුහු ඔවුන්ගේ කිලිටි ඉවත් කරත්වා! තවද ඔවුන්ගේ භාරයන් ඉටු කරත්වා! තවද ඉපැරණි ගෘහය (වන කඃබාව) වටා ඔවුහු සක්මන් කරත්වා
Verse 30
(කඃබාව ඉදි කිරීමේ අරමුණ) එය වේ. තවද කවරෙකු අල්ලාහ්ගේ පාරිශුද්ධ දෑට ගරු කරන්නේද එය ඔහුගේ පරමාධිපති අබියස ඔහුට යහපතක් වේ. තවද නුඹලා වෙත පාරායනය කර පෙන්වනු ලබන දෑ හැර ගොවිපළ සතුන් නුඹලාට අනුමත කරන ලදී. තවද පිළිමවල කිලිටෙන් නුඹලා වළකිනු. තවද නුඹලා නොහොඹිනා කතාවෙන් වළකිනු
Verse 31
ඔහුට ආදේශ නොතබන්නන් ලෙසින් හා අල්ලාහ්ට අවංකයින් ලෙසිනි. තවද කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේද ඔහු අහසින් වැටෙන්නෙකු මෙනි. එවිට පක්ෂීන් ඔහු ඩැහැ ගෙන හෝ සුළඟ ඔහු දූර තැනකට රැගෙන යන්නාක් මෙනි
Verse 32
(සත්‍යය) එයයි. තවද කවරෙකු අල්ලාහ්ගේ සංඥා ගරු කරන්නේ ද නියත වශයෙන්ම එය හදවත් තුළ ඇති බිය බැතිමත්කම හේතුවෙනි
Verse 33
නුඹලාට එහි නියමිත කාලයක් දක්වා ප්‍රයෝජන ඇත. පසු ව එය ඉපැරණි ගෘහය වෙත රැඳෙන්නක් වේ
Verse 34
තවද සෑම සමූහයක් සඳහාම ගොවිපළ සතුන් අතුරින් ඔවුනට ඔහු පෝෂණය කළ දෑ මත අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු පිණිස නැමදුම් පිළිවෙතක් අපි ඇති කළෙමු. එහෙයින් නුඹලාගේ දෙවිඳුන් එකම දෙවිඳුන්ය. එහෙයින් නුඹලා ඔහුට අවනත වනු. තවද යටහත් පහත්වූවනට (නබිවරය) නුඹ ශුභාරංචි දන්වනු
Verse 35
ඔවුහු වනාහි අල්ලාහ් මෙනෙහි කරනු ලබන විට ඔවුන්ගේ හදවත් තැති ගනියි. තවද ඔවුනට ඇති වන දෑ මත ඉවසිලිවන්තයින් වෙති. සලාතය විධිමත් ව ඉටු කරන්නන් වෙති. තවද අපි ඔවුනට පෝෂණය කළ දැයින් ඔවුහු වියදම් කරති
Verse 36
තවද ඔටුවන්, අපි එය නුඹලාට අල්ලාහ්ගේ සංඥා අතුරින් පත් කළෙමු. නුඹලාට එහි යහපතක් ඇත. එහෙයින් නුඹලා උන් පෙළගස්වා උන් මත අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු. උන්ගේ ඇලපත් වැටෙන්නට නියම වූ විට නුඹලා ඉන් අනුභව කරනු. තවද මුදිත වූ අයට හා ඉල්ලා සිටින්නාට ආහාර සපයනු. එලෙස නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස අපි නුඹලාට උන් වසඟ කර දුන්නෙමු
Verse 37
උන්ගේ මාංශ හෝ උන්ගේ රුධිරය හෝ අල්ලාහ් වෙත නොලැබෙන්නේමය. එනමුත් ඔහු වෙත ලැබෙනුයේ නුඹලා අතුරින් වූ බිය බැතිමත්කමයි. නුඹලාට ඔහු මග පෙන්වූ දෑ වෙනුවෙන් නුඹලා අල්ලාහ් ව ශ්‍රේෂ්ඨත්වයට පත් කරනු පිණිස අපි උන් වසඟ කර දුන්නෙමු. තවද දැහැමියන්හට (නබිවරය!) නුඹ ශුභාරංචි දන්වා සිටිනු
Verse 38
විශ්වාස කළවුන් (ඔවුනට අත් වන හානියෙන්) නියත වශයෙන්ම අල්ලාහ් වළක්වාලයි. නියත වශයෙන්ම අල්ලාහ් ගුණමකු වූ සෑම ද්‍රොහියෙකුවම ප්‍රිය නොකරයි
Verse 39
සටන් කරන්නන්හට අනුමැතිය දෙන ලදී. හේතුව නියත වශයෙන්ම ඔවුන් අපරාධයට භාජනය කරනු ලැබූ හෙයිනි. තවද නියත වශයෙන්ම අල්ලාහ් ඔවුනට උදව් කිරීමට ශක්තිවන්තය
Verse 40
ඔවුහු අපගේ පරමාධිපති අල්ලාහ් වේ යැයි පැවසීම හේතුවෙන් මිස කිසිදු යුක්තියකින් තොර ව ඔවුන්ගේ නිවෙස් වලින් ඔවුන් බැහැර කරනු ලැබූවන් වෙති. ජනයා, ඇතැමෙකු විසින් ඇතැමෙකු ව අල්ලාහ් නොවැළැක්වූයේ නම් ආශ්‍රම, කිතුනු දේවස්ථාන, යුදෙව් නැමදුම් ස්ථාන හා අල්ලාහ්ගේ නාමය අධික ව එහි මෙනෙහි කරනු ලබන මස්ජිදයන් විනාශ කරනු ලබන්නට තිබුණි. කවරෙකු ඔහුට (අල්ලාහ්ට) උදව් කරන්නේ ද නියත වශයෙන්ම අල්ලාහ් ඔහුට උදව් කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් අතිබලවත්ය, සර්ව බලධාරීය
Verse 41
ඔවුහු වනාහි මහපොළොවෙහි අපි ඔවුනට බලය ලබා දුන්නේ නම් ඔවුහු සලාතය විධිමත් ව ඉටු කරති. තවද සකාත් පිරිනමති. තවද යහපත විධානය කොට අයහපතින් වළක්වති. සියලු කරුණු වල අවසානය අල්ලාහ් සතුය
Verse 42
තවද ඔවුහු නුඹ ව බොරු කරන්නේ නම් එවිට (නුඹ දැන ගනු) ඔවුනට පෙර නූහ්ගේ ජනයාද ආද් ජනයාද සමූද් ජනයාද සැබැවින්ම (ඔවුන්ගේ නබිවරුන්) බොරු කළෝය
Verse 43
තවද ඉබ්‍රාහීම්ගේ ජනයා ද ලූත්ගේ ජනයා ද
Verse 44
තවද මද්යන් වාසීහු ද (බොරු කළෝය) තවද මූසාද බොරු කරනු ලැබීය. එවිට දේව ප්‍රතික්ෂේපකයින්හට මම අවකාශය දුනිමි. පසු ව මම ඔවුන් ග්‍රහණය කළෙමි. එවිට මාගේ දඬුවම කෙසේ වීද
Verse 45
කොපමණ ගම්මානයන් වී ද? එය අපරාධකරමින් සිටිය දී අපි විනාශ කළෙමු. ඒවා උඩු වියන් සමඟ ගරා වැටී ඇත . තවද කොපමණ හැර දමන ලද ළිං හා පාළු වී ගිය මන්දිර වී ද
Verse 46
ඔවුහු මහපොළොවේ ගමන් කළ යුතු නොවේ ද? එවිට එමගින් වටහා ගත හැකි අයුරින් සිත් හා එමගින් සවන් දිය හැකි අයුරින් කන්ද ඔවුනට පිහිටනු ඇත. නිසැකවම එහි ඇස් අන්ධ නොවෙයි. නමුත් හදවත් තුළ ඇති සිත් අන්ධ වෙයි
Verse 47
තවද ඔවුහු එම දඬුවම ඉක්මන් කරන මෙන් ඔබගෙන් පතති. අල්ලාහ් ඔහුගේ පොරොන්දුව කඩ නොකරන්නේමය. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති අබියස එක් දිනයක්, නුඹලා ගණනය කරන අවුරුදු දාහකට සමානය
Verse 48
කෙතරම් ගම්මානයන් වීද? එය අපරාධකරමින් සිටිය දී එයට මම කල් දුනිමි. පසු ව මම එය ග්‍රහණය කළෙමි. තවද නැවත පැමිණීමේ ස්ථානය ඇත්තේ මා වෙතය
Verse 49
අහෝ ජනයිනි! නියත වශයෙන්ම මම නුඹලාට පැහැදිලි අවවාද කරන්නෙකු පමණය යැයි (නබිවරය) නුඹ පවසනු
Verse 50
එහෙයින් විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුනට සමාව ද ගෞරවනීය පෝෂණය ද ඇත
Verse 51
තවද අපගේ වදන් නිෂ්ඵල කරන්නට උත්සාහ දැරූවන් වන ඔවුහුමය නිරයේ සගයෝ
Verse 52
තමන් පාරායනය කරන විට ෂෙයිතාන් ඔහුගේ මනෝ ආශාවන්හි (වැරදි) හෙළමින් මිස අපි කිසිදු රසූල්වරයකු හෝ නබිවරයකු හෝ නොඑව්වෙමු. එවිට ෂෙයිතාන් හෙළන දෑ අල්ලාහ් නිෂ්ප්‍රභ කරයි. පසු ව අල්ලාහ් ඔහුගේ වදන් තීන්දු කරයි. තවද අල්ලාහ් සර්ව ඥානීය මහා ප්‍රඥාවන්තය
Verse 53
තම හදවත් තුළ රෝගී බව ඇති අයට හා තම හදවත් දැඩිවූවන්හට ෂෙයිතාන් හෙළන දෑ පරීක්ෂණයක් බවට ඔහු පත් කරනු පිණිසය. තවද නියත වශයෙන්ම අපරාධකරුවන් අන්ත බෙදීම් තුළ වෙති
Verse 54
තවද සැබැවින්ම මෙය නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය බව ඥානය දෙනු ලැබූවන් දැනගෙන එය විශ්වාස කොට ඔවුන්ගේ හදවත් එයට යටහත් වනු පිණිස. (මෙසේ සිදු කරනු ඇත.) තවද නියත වශයෙන්ම අල්ලාහ් විශ්වාස කළවුනට ඍජු මාර්ගය වෙත මග පෙන්වන්නාය
Verse 55
ප්‍රතික්ෂේප කළවුන් ක්ෂණික ව ඔවුන් වෙත අවසන් හෝරාව පැමිණෙන තෙක් හෝ නිසරු දිනයක දඬුවම ඔවුන් වෙත පැමිණෙන තෙක් හෝ ඒ ගැන සැකයෙන් ඉවත් නොවෙති
Verse 56
එදින සියලු බලය අල්ලාහ් සතුය. ඔවුන් අතර ඔහු තීන්දු දෙයි. එහෙයින් විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුහු සැප පහසුකම් ඇති (ස්වර්ග) උයන්හි වෙති
Verse 57
තවද ප්‍රතික්ෂේප කොට අපගේ වදන් බොරු කළවුන් වනාහි ඔවුනට අවමන් සහගත දඬුවමක් ඇත
Verse 58
තවද අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම ගොස් ඝාතනය කරනු ලැබූවන් හෝ මියගියවුන් වනාහි නියත වශයෙන්ම අල්ලාහ් ඔවුනට යහපත් පෝෂණයකින් පෝෂණය කරනු ඇත. තවද නියත වශයෙන්ම අල්ලාහ් පෝෂණය කරන්නන් අතුරින් ඉතා ශ්‍රේෂ්ඨය
Verse 59
ඔවුහු ඒ ගැන තෘප්තියට පත් වන පිවිසුමකින් ඔවුන් ව ඔහු ඇතුළත් කරනු ඇත. තවද නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානී, මහත් ඉවසිලිවන්තයාය
Verse 60
එය (ඔවුන්ටම ය). තවද කවරෙකු කවර දෙයකින් දඬුවම් කරනු ලැබුවේ ද ඒ හා සමාන ව ඔහුට දඬුවම් කොට, එයට පසුව ඔහු කෙරෙහි සීමාව ඉක්මවා හිංසා කරනු ලබයි නම් එවිට අල්ලාහ් සැබැවින්ම ඔහුට උදව් කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් නොසලකා හරින අතික්ෂමාශීලීය
Verse 61
එය නියත වශයෙන්ම අල්ලාහ් රාත්‍රිය දහවලෙහි ඇතුළු කරන බැවින්ද දහවල රාත්‍රිය තුළ ඇතුළු කරන බැවින්ද වේ. තවද නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්ව නිරීක්ෂකය
Verse 62
එය නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුම සත්‍යය බැවිනි. තවද ඔහුගෙන් තොර ව ඔවුන් අයැදින දෑ නිෂ්ඵල දෑමය. තවද නියත වශයෙන්ම අල්ලාහ් උත්තරීතරය. අති ශ්‍රේෂ්ඨය
Verse 63
නියත වශයෙන්ම අල්ලාහ් අහසින් ජලය පහළ කොට එවිට මහපොළොව සරුසාරවත් වීම නුඹ නොදුටුවෙහි ද? නියත වශයෙන්ම අල්ලාහ් මෛත්‍රිය. අභිඥානවන්තය
Verse 64
අහස් තුළ ඇති දෑ ද මහපොළොව තුළ ඇති දෑ ද ඔහු සතුය. තවද නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුමය අවශ්‍යතාවන්ගෙන් තොර ප්‍රශංසාලාභී වනුයේ
Verse 65
මහපොළොවේ ඇති දෑ ද, ඔහුගේ නියෝගය තුළින් මුහුදේ ගමන් කරන නැව් ද, අල්ලාහ් නුඹලාට වසඟ කර දී ඇති බව නුඹ නොදුටුවෙහි ද? ඔහුගේ අනුබලයෙන් තොර ව මහපොළොව මතට අහස කඩා නොවැටෙන සේ ඔහු රඳවා තබයි. නියත වශයෙන්ම අල්ලාහ් ජනයා කෙරෙහි සෙනෙහෙවන්තය. මහා කරුණාවන්තය
Verse 66
නුඹලාට ජීවය ලබා දී පසු ව නුඹලා ව මරණයට පත් කොට ඉන්පසු ව යළි නුඹලාට ජීවය ලබා දෙනුයේ ඔහුය. නියත වශයෙන්ම මිනිසා ගුණමකුය
Verse 67
සෑම සමූහයකටම ඔවුන් ඔහුට නමදින අයුරින් නැමදුම් පිළිවෙතක් අපි ඇති කළෙමු. එහෙයින් එම කරුණ සම්බන්ධයෙන් ඔවුහු නුඹ සමග ගැටලු ඇති කර ගත නොයුතුය. තවද නුඹගේ පරමාධිපති වෙත නුඹ ඇරයුම් කරනු. නියත වශයෙන්ම නුඹ ඍජු මාර්ගය මතය
Verse 68
තවද ඔවුහු නුඹ සමග තර්ක කළේ නම් එවිට නුඹලා කරන දෑ පිළිබඳ ව අල්ලාහ් මැනවින් දන්නා බව නුඹ පවසනු
Verse 69
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා කවර විෂයක් මත ගැටුම් ඇති කර ගත්තේද ඒ ගැන අල්ලාහ් නුඹලා අතර තීන්දු කරයි
Verse 70
නියත වශයෙන්ම අල්ලාහ් අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ දන්නා බව නුඹ නොදන්නෙහිද? නියත වශයෙන්ම එය (ලව්හුල් මහ්ෆූල් හෙවත්) දේව සටහනෙහි විය. නියත වශයෙන්ම අල්ලාහ් වෙත එය පහසු කාර්යයකි
Verse 71
තවද අල්ලාහ්ගෙන් තොර කිසිදු බලයක් එයට පහළ නොකළා වූ දෑට හා ඒ ගැන කිසිදු දැනුමක් නොමැති දෑට ඔවුහු නැමැදුම් කරති. තවද අපරාධකරුවන්හට කිසිදු උදව් කරුවකු නොමැත
Verse 72
තවද ඔවුන් වෙත අපගේ වදන් පැහැදිලි ලෙස පාරායනය කර පෙන් වනු ලබන විට ප්‍රතික්ෂේප කළවුන්ගේ මුහුණුවල පිළිකුල් බව නුඹ දකිනු ඇත. ඔවුන් වෙත අපගේ වදන් පාරායනය කර පෙන්වන්නන් හට පහර දීමට ඔවුහු තැත් කරති. එහෙයින් නුඹ පවසනු. මීට වඩා නපුරු දෙයක් පිළිබඳ නුඹලාට මම දැනුම් දෙන්නද? (එය දේව වදන්) ප්‍රතික්ෂේප කරන්නන්ට අල්ලාහ් ප්‍රතිඥා කළ (නිරා) ගින්නය. තවද යොමු වන ස්ථානය නපුරු විය
Verse 73
අහෝ ජනයිනි, උපමාවක් ගෙන හැර පෙන්වන ලදී. එහෙයින් නුඹලා එයට සවන් දෙනු. නියත වශයෙන්ම අල්ලාහ්ගෙන් තොර ව නුඹලා ඇරයුම් කරන අය ඔවුන් සියලු දෙනා එකතු වුවද මැස්සෙකු හෝ ඔවුනට මැවිය නොහැක්කේමය. මැස්සා ඔවුන්ගෙන් යමක් පැහැර ගත්තේ නම් උගෙන් එය ඔවුහු මුදවා නොගනිති. අයැදින්නා හා අයැදිනු ලබන්නා දුර්වල විය
Verse 74
අල්ලාහ් ව ගරු කළ යුතු ප්‍රමාණයට ඔවුහු ඔහුට ගරු නොකළෝය. නියත වශයෙන්ම අල්ලාහ් අති බලවත් සර්ව බලධාරීය
Verse 75
මලක්වරුන් අතුරින් අල්ලාහ් දූතවරුන් තෝරා ගත්තේය. එමෙන්ම ජනයා අතුරින්ද (එසේ) විය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවක සර්ව නිරීක්ෂකය
Verse 76
ඔවුන් අතර ඇති දෑ හා ඔවුනට පසුපසින් ඇති දෑ ඔහු දනියි. තවද සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙතය
Verse 77
අහෝ විශ්වාස කළවුනි! නුඹලා ජය ලැබිය හැකි වනු පිණිස නුඹලා (කොන්ද නමා) රුකූඋ කරනු. තවද (නළල බිම තබා) සුජූද් කරනු. තවද නුඹලාගේ පරමාධිපතිට නැමැදුම් කරනු. තවද යහකම් සිදු කරනු
Verse 78
තවද නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ කැප විය යුතු නියම අයුරින් කැපවනු. ඔහු නුඹලා ව තෝරා ගෙන ඇත. නුඹලා වෙත දහමෙහි කිසිදු දුෂ්කරත්වයක් ඔහු ඇති නොකළේය. එය නුඹලාගේ පියාණන් වූ ඉබ්‍රාහීම්ගේ පිළිවෙතයි. මීට පෙර මුස්ලිම්වරුන් යැයි නුඹලාට නම් තැබුවේ ඔහු (අල්ලාහ්) ය. මේ අනුවම රසූල්වරයා නුඹලාට සාක්ෂිකරුවකු වනු පිණිසත් නුඹලා ජනයාට සාක්ෂිකරුවන් වනු පිණිසත් (නම් තැබීය.) එහෙයින් නුඹලා විධිමත් ලෙස සලාතය ඉටු කරනු. තවද සකාත් පිරිනමනු. තවද අල්ලාහ් තදින් ග්‍රහණය කර ගනු. ඔහු නුඹලාගේ භාරකරුය. එම භාරකරු යහපත් විය. එමෙන්ම එම උදව්කරු යහපත් විය