Back to Languages

    Sinhala - Chapter 27

    Translation by Www.islamhouse.com

    Verse 1

    තා, සීන්. එය අල් කුර්ආනයේ හා පැහැදිලි ග්‍රන්ථයේ වදන්ය

    Verse 2

    දෙවියන් විශ්වාස කළවුනට මග පෙන්වීමක් හා සුබාශිංසනයකි

    Verse 3

    ඔවුන් වනාහි සලාතය විධිමත් ව ඉටු කරති. සකාත්ද පිරිනමති. තවද මතුලොව පිළිබඳ තරයේ විශ්වාස කරනුයේ ඔවුහුය

    Verse 4

    නියත වශයෙන්ම මතුලොව පිළිබඳ විශ්වාස නොකරන්නන් වනාහි අපි ඔවුනට ඔවුන්ගේ ක්‍රියාවන් අලංකාර කර පෙන්වූයෙමු. එහෙයින් ඔවුහු (එහි) ව්‍යාකූලත්වයෙන් පෙළෙති

    Verse 5

    නපුරු දඬුවම තමන්හට සතු වූවෝ ඔවුහුමය. තවද මතුලොවෙහි දැඩි අලාභවන්තයෝ ද ඔවුහුමය

    Verse 6

    (නබිවරය,) තවද සර්වඥානී මහා ප්‍රඥාවන්තයාගෙන් නියත වශයෙන්ම නුඹට අල් කුර්ආනය දෙනු ලැබුවෙහිය

    Verse 7

    නියත වශයෙන්ම මම ගින්නක් දුටුවෙමි. යම් තොරතුරක් මම එයින් නුඹලා වෙත ගෙන එන්නෙමි. එසේ නැතහොත් නුඹලා (සීතලෙන්) උණුසුම ලැබිය හැකි වනු පිණිස ගිනි පෙනෙල්ලක් නුඹලා වෙත ගෙන එන්නෙමි යැයි මූසා තම පවුලට පැවසූ අවස්ථාව සිහිපත් කරනු

    Verse 8

    එසේ ඔහු එහි පැමිණි කල්හි ගින්නෙහි සිටින්නා හා ඒ අවට සිටියවුන් ආශිර්වාද කරනු ලැබීය. තවද සර්ව ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ් සුවිශුද්ධය යැයි ඔහු අමතනු ලැබීය

    Verse 9

    (එවිට) අහෝ ! මූසා, නියත වශයෙන්ම මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී අල්ලාහ් මම වෙමි

    Verse 10

    තවද නුඹගේ සැරයටිය හෙළනු. එය සර්පයකු සේ සලිත වනු ඔහු දුටු කල්හි පසුපස හැරී දිව්වේය. තවද ඔහු නැවත හැරී නොබැලුවේය. අහෝ මූසා! නුඹ බිය නොවනු. නියත වශයෙන්ම මම වනාහි, මා ඉදිරියේ දූතයෝ බිය නොවෙති

    Verse 11

    නමුත් අපරාධයක් සිදු කොට අනතුරු ව නපුරකින් පසු යහපතක් බවට (එය) පත් කළ අය හැර. එහෙයින් නියත වශයෙන්ම මම අතික්ෂමාශීලී මහා කරුණාන්විතයාණන් වෙමි

    Verse 12

    නුඹගේ අත නුඹගේ සාක්කුව තුළට දමනු. එවිට කිසිදු හානියකින් තොරව සුදුවන් ලෙසින් (බැබළෙමින්) එය පිටවනු ඇත. එය ෆිර්අවුන් හා ඔහුගේ ජනයා වෙත වූ ප්‍රාතිහාර්යයන් නවය අතර විය. නියත වශයෙන්ම ඔවුහු දුෂ්ට පිරිසක් වූහ

    Verse 13

    අපගේ සංඥාවන් ඔවුන් වෙත පෙනෙන්නට පැමිණි කල්හි මෙය පැහැදිලි හූනියමක් යැයි ඔවුහු පැවසූහ

    Verse 14

    තවද ඔවුන්ගේ ආත්මයන් එය පිළිගන්නා තත්ත්වයේ තිබියදීත් අසාධාරණ ලෙසින් හා පුහුමානයෙන් යුතු ව ඔවුහු එය ප්‍රතික්ෂේප කළෝය. එහෙයින් කලහකාරීන්ගේ අවසානය කෙසේ වී දැයි නුඹ අවධානයෙන් බලනු

    Verse 15

    තවද සැබැවින්ම අපි දාවූද් හා සුලෙයිමාන්ට ඥානය පිරිනැමුවෙමු. තවද ඔහුගේ ගැත්තන් අතුරින් දෙවියන් විශ්වාස කරන බොහෝමයක් දෙනාට වඩා අප උසස් කළ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා යැයි ඔවුන් දෙදෙනා පවසා සිටියහ

    Verse 16

    සුලෙයිමාන් දාවුද්ට උරුමකම් පෑවේය. අහෝ ජනයිනි! කුරුලු බස අපට උගන්වනු ලැබීය. තවද සෑම දෙයකින්ම අපට පිරිනමනු ලැබීය. නියත වශයෙන්ම එය පැහැදිලි අනුග්‍රහයකි යැයි ඔහු (සුලෙයිමාන්) පැවසීය

    Verse 17

    සුලෙයිමාන් වෙනුවෙන් ජින් වර්ගයාගෙන් ද මිනිස් සත්වයාගෙන්ද පක්ෂීන්ගෙන් ද යුත් ඔහුගේ සේනාව එක් රැස් කරන ලදී. පසු ව ඔවුන් පෙළගස්වා ගමන් කරවනු ලැබීය

    Verse 18

    කුහුඹුවන්ගේ මිටියාවතට ඔවුන් පැමිණි විට, අහෝ කුහුඹුවනි! නුඹලාගේ නවාතැන් තුළට පිවිසෙනු. සුලෙයිමාන් හා ඔහුගේ සේනාව ඔවුන් නොදැනුවත් ව නුඹලා පාගා නොදැමිය යුතු යැයි කුහුඹියෙක් කීවාය

    Verse 19

    උගේ කතාව හේතුවෙන් ඔහු (සුලෙය්මාන්) මද සිනහ පා, මාගේ පරමාධිපතියාණෙනි, නුඹ මා හා මාගේ දෙමාපියන් වෙත දායාද කළ ආශිර්වාදයන් සඳහා මා කෘතවේදී වීමටත් නුඹ පිළිගන්නා අයුරින් දැහැමි දෑ මා සිදු කිරීමටත් මට නුඹ දායාද කරනු මැනව! තවද නුඹගේ කරුණාව තුළින් නුඹගේ දැහැමි ගැත්තන් අතරට මා ඇතුළත් කරනු මැනව! යැයි පැවසීය

    Verse 20

    තවද ඔහු (සුලෙයිමාන්) පක්ෂියා සෙවීය. හුද් හුද් කුරුල්ලා මා නොදකිනුයේ ඇයි? නැතහොත් ඌ නොපැමිණියවුන් අතුරින් වීදැ?යි ඔහු පැවසීය

    Verse 21

    මම ඌට දැඩි දඬුවමකින් දඬුවම් කරමි. එසේ නැතහොත් මම ඌ කපා දමමි. එසේත් නැතහොත් ඌ (නිදහසට කරුණු දක්වමින්) පැහැදිලි බලවත් සාධකයක් මා වෙත ගෙන ආ යුතුය

    Verse 22

    නමුදු වැඩි වේලාවක් ගත වූයේ නැත. එවිට ඌ ‘නුඹ කවර දෙයක් ග්‍රහණය නොකළේ ද එවන්නක් මා ග්‍රහණය කළෙමි. මම සබඃ දේශයේ සිට විශ්වාසනීය පුවතක් සමග නුඹ වෙත පැමිණියෙමි’ යැයි පැවසීය

    Verse 23

    නියත වශයෙන් ඔවුන් පාලනය කරන කාන්තාවක් මම දුටිමි. ඇයට සියලු දැයින් පිරිනමනු ලැබ තිබේ. තවද ඇයට මහත් වූ රාජාසනයක් ද ඇත

    Verse 24

    ඇය හා ඇයගේ ජනයා අල්ලාහ්ගෙන් තොර ව හිරුට සුජූද් කරනු මම දුටුවෙමි. තවද ඔවුනට ඔවුන්ගේ ක්‍රියාවන් ෂෙයිතාන් අලංකාර කර පෙන්වා එම (ඍජු) මාර්ගයෙන් ඔවුන් වළක්වා ඇත. එහෙයින් ඔවුහු මගපෙන්වීම් නොලබති

    Verse 25

    අහස්හි හා මහපොළොවෙහි සැඟවුණු රහස් හෙළි කරන්නා වූ අල්ලාහ්ට ඔවුන් සුජූද් නොකරන මෙන් (පවසා වැළැක්වීය.) තවද නුඹලා සඟවන දෑ හා නුඹලා හෙළි කරන දෑ ඔහු(අල්ලාහ්) දනියි

    Verse 26

    අල්ලාහ් වන ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. ඔහු අතිමහත් සර්ව රාජ්‍යයේ හිමිපාණන්ය

    Verse 27

    නුඹ සත්‍ය පැවසුවෙහි ද එසේ නැතහොත් නුඹ මුසාවාදීන් අතුරින් දැයි අපි බලා සිටිමු යැයි ඔහු පැවසුවේය

    Verse 28

    නුඹ මාගේ මෙම ලිපිය රැගෙන ගොස් ඔවුන් වෙත දමා පසු ව ඔවුන්ගෙන් නුඹ හැරී එනු. ඔවුන් කුමන ප්‍රතිචාරයක් දක්වන්නේ දැයි නුඹ අධීක්ෂණය කරනු. (යැයි පැවසීය)

    Verse 29

    අහෝ ප්‍රධානියනි! නියත වශයෙන්ම මා වෙත උතුම් ලිපියක් දමා ගොස් ඇත යැයි ඇය පැවසුවාය

    Verse 30

    නියත වශයෙන්ම එය සුලයිමාන්ගෙනි. තවද නියත වශයෙන්ම එය අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විතයාණන්ගේ නාමයෙන් වූවකි

    Verse 31

    නුඹලා මට එරෙහි ව අහංකාර නොවනු. තවද නුඹලා මා වෙත අවනත වන්නන් ලෙසින් පැමිණෙනු. (යැයි එම ලිපියේ සඳහන් ව ඇත)

    Verse 32

    අහෝ ප්‍රධානියනි! මාගේ විෂයයෙහි නුඹලා මට තීන්දු ලබා දෙනු. නුඹලා සාක්ෂි පවසන තෙක් මම කිසිදු කරුණක් සිදු කරන්නියක් නොවූයෙමි යැයි පැවසුවාය

    Verse 33

    අපි බලවත් උදවියයි. දැඩි සටන් කාමී උදවියයි. කරුණ ඔබ වෙතය. එහෙයින් ඔබ නියෝග කරනුයේ කුමක් දැයි ඔබ ම බලනු යැයි ඔවුහු (ඇයට) පැවසූහ

    Verse 34

    නියත වශයෙන්ම රජවරු දේශයකට පිවිසුණහොත් එහි කලහකම් ඇති කරති. එහි වැසියන් අතර වූ වැදගත් පුද්ගලයින් පහත් තත්ත්වයට පත් කරති. එලෙසය ඔවුන් සිදු කරනුයේ

    Verse 35

    තවද නියත වශයෙන්ම මම ඔවුන් වෙත ත්‍යාග එවා දූතවරුන් කවර දෙයක් නැවත ගෙන එන්නේ දැයි බලා සිටිමි

    Verse 36

    එවිට සුලෙයිමාන් වෙත (දූතයා) ඔහු පැමිණි කල්හි නුඹලා මට ධනයෙන් උදව් කරන්නෙහු ද? එසේ නම් නුඹලා මට පිරිනමන දෑට වඩා අල්ලාහ් මට පිරිනමා ඇති දෑ උතුම්ය. නමුත් නුඹලා නුඹලාගේ ත්‍යාග පිළිබඳ ව සතුටු වන්නෙහුය

    Verse 37

    නුඹ නැවත ඔවුන් වෙත හැරී යනු. සැබැවින්ම ඔවුන් එයට මුහුණ දිය නොහැකි සේනාවක් ඔවුන් වෙත අපි ගෙන එන්නෙමු. තවද ඔවුන් අවමානයට ලක් වූ පහත් වූවන් ලෙසින් එයින් ඔවුන් ව අපි පිටුවහල් කරන්නෙමු

    Verse 38

    අහෝ ප්‍රධානියනි! ඔවුන් මා වෙත අවනතවූවන් (මුස්ලිම්වරුන්) ලෙසින් පැමිණීමට පෙර ඇයගේ රාජාසනය මා වෙත ගෙන එන්නේ නුඹලාගෙන් කවරෙකු දැයි ඔහු (සුලෙයිමාන්) විමසීය

    Verse 39

    ඔබේ ස්ථානයෙන් ඔබ නැගිට සිටීමට පෙර මම එය ඔබ වෙත ගෙන එන්නෙමි. තවද නියත වශයෙන්ම මම ඒ වෙත ශක්තිය ඇති විශ්වාසනීය අයෙකි යැයි ජින් වර්ගයා අතුරින් බලවතෙක් පැවසීය

    Verse 40

    ඔබේ ඇසිපිය ඔබ වෙත ළඟා වීමට මත්තෙන් මම එය ඔබ වෙත ගෙන එන්නෙමි යැයි දේව ග්‍රන්ථය පිළිබඳ ඥානය ඇත්තෙකු පැවසීය. තම අසල එය තිබෙනු ඔහු දුටු කල්හි "මම ගුණගරුක වන්නෙම් ද එසේ නැතහොත් ගුණමකු වන්නෙම් දැයි මා පරීක්ෂා කරනු පිණිස, මෙය මාගේ පරමාධිපතියාගෙන් වූ භාග්‍යයකි" යැයි (සුලෙයිමාන්) පැවසීය. තවද කවරෙකු ගුණගරුක වූයේ ද එසේ ගුණගරුක වනුයේ තමන් වෙනුවෙන්මය. තවද කවරෙක ගුණමකු වූයේ ද එවිට නියත වශයෙන්ම මාගේ පරමාධිපති අවශ්‍යතාවන්ගෙන් තොර වූ උපකාරශීලීය. (යන වග දැන ගත යුතුය)

    Verse 41

    ඇයගේ රාජාසනය ඇයට හඳුනා ගත නොහැකි බවට නුඹලා පත් කරනු. ඇය ඒ ගැන නිවැරදි ව හඳුනා ගන්නී ද එසේ නැතහොත් නිවරැදි ව හඳුනා නොගන්නවුන් අතුරින් වන්නී දැ?යි අපි බලමු යැයි ඔහු (සුලෙයිමාන්) පැවසීය

    Verse 42

    පසු ව ඇය පැමිණි කල්හි ඔබගේ රාජාසනය මෙලෙස දැයි විමසනු ලැබීය. ඇය නියත වශයෙන්ම මෙය එයමය යැයි (රැජිණ) පැවසුවාය. තවද එයට පෙර අප වෙත ඥානය දෙනු ලැබුවෙමු. තවද අපි අවනත වන්නන් (මුස්ලිම්වරුන්) වූයෙමු

    Verse 43

    අල්ලාහ්ගෙන් තොර ව ඇය නමදිමින් සිටි දෑ ඇය ව වැළැක්වීය. නියත වශයෙන්ම ඇය දෙවියන් ප්‍රතික්ෂේප කළ ජනයා අතුරින් කෙනෙකු විය

    Verse 44

    ඔබ මාලිගාවට ඇතුළු වනු යැයි ඇයට කියනු ලැබීය. ඇය එය දුටු විට ජලයෙන් පිරුණු තටාකයක් යැයි සිතුවාය. ඇය ඇයගේ වස්ත්‍රය ඇයගේ කෙණ්ඩයෙන් ඉවතට (ඔසවා) ගත්තාය. නියත වශයෙන්ම මෙය පළිඟුවලින් මුසු වූ මාලිගාවක් යැයි ඔහු (සුලෙයිමාන්) පැවසීය. මාගේ පරමාධිපතියාණෙනි, නියත වශයෙන්ම මම මට ම අපරාධ කර ගත්තෙමි. තවද මම සුලෙයිමාන් සමග සර්ව ලෝකයන්හි හිමිපාණන් වූ අල්ලාහ්ට අවනත වූයෙමි යැයි ඇය පැවසුවාය

    Verse 45

    තවද නුඹලා අල්ලාහ්ට නැමඳුම් කරනු යැයි (නියෝග කරමින්) සැබැවින්ම අපි සමූද් ජනයා වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ් ව එව්වෙමු. එවිට ඔවුහු වාද කරගන්නා දෙපිරිසක් වූහ

    Verse 46

    මාගේ ජනයිනි, යහකමට පෙර පාපකම සොයන්නට නුඹලා ඉක්මන් වනුයේ ඇයි? නුඹලා කරුණා කරනු ලබනු පිණිස නුඹලා අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිය යුතු නොවේ දැයි ඔහු පැවසීය

    Verse 47

    නුඹ හා නුඹ සමග වූවන් අපට අසුබ පෙර නිමිත්තකි යැයි ඔවුහු පැවසූහ. නුඹලාගේ අසුබවාදය අල්ලාහ් වෙතිනි. නමුත් නුඹලා පරීක්ෂණයට භාජනය කරනු ලබන පිරිසකි යැයි ඔහු පැවසීය

    Verse 48

    මහපොළොවේ කලහකම් කරන එමෙන්ම විධිමත් නොකරන කණ්ඩායම් නවයක් එම නගරයේ විය

    Verse 49

    නියත වශයෙන්ම ඔහු හා ඔහුගේ පවුල අපි රාත්‍රියේ මරා දමමු. පසු ව ඔහුගේ පවුලේ විනාශය අපි නොදුටුවෙමු යැයි ද නියත වශයෙන්ම අපි සත්‍යාවාදීහු යැයි ද ඔහුගේ භාරකරුට පවසන්නෙමු යැයි ඔවුහු (එම කණ්ඩායම්) පැවසූහ

    Verse 50

    ඔවුහු කුමන්ත්‍රණයකින් කුමන්ත්‍රණය කළෝය. අප ද ඔවුන් නොදැන සිටිය දී කුමන්ත්‍රණයකින් කුමන්ත්‍රණය කළෙමු

    Verse 51

    ඔවුන්ගේ කුමන්ත්‍රණයේ අවසානය කෙසේ වී දැයි ඔබ මැනවින් බලනු. නියත වශයෙන්ම අපි ඔවුන් හා ඔවුන්ගේ ජනයා සියලු දෙනා විනාශ කර දැමුවෙමු

    Verse 52

    ඔවුන් කළ අපරාධකම් හේතුවෙන් ගරා වැටුණු ඔවුන්ගේ නිවෙස් මේවා ය. නියත වශයෙන්ම මෙහි දැනමුතුකම් ලබන ජනයාට සාධකයක් ඇත

    Verse 53

    තවද විශ්වාස කර බිය බැතිමත් වී සිටියවුන් අපි මුදවා ගත්තෙමු

    Verse 54

    තවද ලූත් ද (අපි එව්වෙමු.) ඔහු තම ජනයා වෙත නුඹලා දැක දැකම ස්ත්‍රීන් හැර පුරුෂයින් වෙත පැමිණෙන්නෙහු දැ?යි විමසූ අවස්ථාව සිහියට නගනු

    Verse 55

    කාන්තාවන් හැර දමා, කාමාශාවෙන් යුතු ව පිරිමින් වෙත නුඹලා පැමිණෙන්නෙහු ද? නුඹලා අඥාන පිරිසකි

    Verse 56

    නුඹලා ලූත්ගේ පරපුර නුඹලාගේ දේශයෙන් පිටුවහල් කරනු. නියත වශයෙන්ම ඔවුන් පිවිතුරුකම පතන ජන පිරිසකි, යැයි පැවසීම මිස ඔහුගේ ජනයාගේ පිළිතුර වෙනෙකක් නොවීය

    Verse 57

    එවිට අපි ඔහු හා ඔහුගේ පවුලේ අය මුදවා ගත්තෙමු. ඔහුගේ බිරිය හැර. ඇය රැඳී සිටින්නන් අතරට පත් කළෙමු

    Verse 58

    තවද අපි ඔවුන් වෙත වර්ෂාවක් පතිත කළෙමු. අවවාද කරනු ලැබූවන්ගේ වර්ෂාව නපුරු විය

    Verse 59

    පවසනු. සියලු ප්‍රශංසා අල්ලාහ්ටය. තවද ඔහු තෝරා ගත් ඔහුගේ ගැත්තන් කෙරෙහි ශාන්තිය අත් වේවා. ශ්‍රේෂ්ඨ වනුයේ අල්ලාහ් ද එසේ නැතහොත් ඔවුන් ආදේශ කරන දෑ ද

    Verse 60

    (උතුම් වනුයේ ඔවුන් ආදේශ තබන දෑ ද) එසේ නැතහොත් අහස් හා මහපොළොව මවා අහසින් නුඹලාට ජලය පහළ කළ අය ද? එමගින් අපි සාරවත් බවින් යුක්ත වතුයායන් හට ගැන්වූයෙමු. එහි ගස් හට ගැන්වීමට නුඹලාට (බලය) නොමැත. අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? නමුත් ඔවුන් (අල්ලාහ්ට) සමාන කරන පිරිසකි

    Verse 61

    එසේ නැතහොත් මහපොළොව වාසස්ථානයක් බවට පත් කොට ඒ අතර ගංගාවන් ඇති කොට එහි කඳු ඇති කොට මුහුදු දෙක අතර බාධකයක් ඇති කළ අය ද? අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති

    Verse 62

    එසේ නැතහොත් කරදරයක පැටලුණු අය ඔහුගෙන් ප්‍රාර්ථනා කළ විට ඔහුට පිළිතුරු දී එම නපුර ඉවත් කරන්නා ද? තවද, ඔහු නුඹලා මහපොළොවේ නියෝජිතයින් බවට පත් කරයි. අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? නුඹලා මෙනෙහි කරනුයේ සුඵ වශයෙනි

    Verse 63

    එසේ නැතහොත් පොළොවේ හා මුහුදේ අන්ධකාරයන්හි නුඹලාට මග පෙන්වන්නා ද? තවද තම කරුණාව අතරින් සුළඟ සුබාශිංසනයක් වශයෙන් එවනුයේ කවරෙක් ද? අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? ඔවුන් ආදේශ කරන දැයින් අල්ලාහ් උත්තරීතරය

    Verse 64

    එසේ නැතහොත්, (පූර්වාදර්ශයකින් තොර ව) මැවීම් නිර්මාණය කොට (එය මරණයට පත් වූ) පසු ව යළි ( ප්‍රාණය දී) ගෙන එන්නා ද? අහස්හි හා මහපොළොවේ නුඹලාට පෝෂණය ලබා දෙනුයේ කවරෙක් ද? අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? නුඹලා සත්‍යවාදීහු නම් නුඹලාගේ සාධක ගෙන එනු

    Verse 65

    (නබිවරය) අල්ලාහ් හැර අහස්හි හා මහපොළොවේ සිටින්නන් අදෘශ්‍යමාන දෑ නොදනී යැයි ඔබ පවසනු. තවද ඔවුන් යළි නැගිටුවනු ලබන්නේ කවදාදැයි ද ඔවුහු නොදනිති

    Verse 66

    එසේ නොව ඔවුන්ගේ දැනුම මතු ලොව වෙතට ළඟා වෙයි. නමුත් ඔවුන් ඒ ගැන සැකයෙහිය. නමුත් ඔවුන් ඒ ගැන අන්ධභාවයෙන් පෙළෙති

    Verse 67

    අප හා අපගේ මුතුන් මිත්තන් පස් බවට පත් ව සිටියදී නියත වශයෙන්ම අපි බැහැර කරනු ලබන්නන් වන්නෙමු දැයි දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් පවසා සිටියේය

    Verse 68

    මීට පෙරද අප හා අපගේ මුතුන් මිත්තන් මේ ගැන ප්‍රතිඥා දෙනු ලැබුවෙමු. මෙය පැරැණ්නන්ගේ ප්‍රබන්ධයන් මිස නැත

    Verse 69

    මහපොළොවේ නුඹලා ගමන් කර වැරදිකරුවන්ගේ අවසානය කෙසේ වී දැයි අවධානයෙන් බලනු යැයි ඔබ පවසනු

    Verse 70

    ඔවුන් කෙරෙහි ඔබ දුක් නොවනු. තවද ඔවුන් කරන කුමන්ත්‍රණ හේතුවෙන් ඔබ අසහනකාරී තත්ත්වයට පත් නොවනු

    Verse 71

    නුඹලා සත්‍යවාදීහු නම් මෙම ප්‍රතිඥාව කවදාදැ?යි ඔවුහු විමසති

    Verse 72

    (නබිවරය) නුඹලා ඉක්මනින් පතන දැයින් සමහරක් නුඹලාට සමීප වන්නට පුළුවන් යැයි ඔබ පවසනු

    Verse 73

    තවද නියත වශයෙන්ම ඔබගේ පරමාධිපති ජනයා වෙත අනුග්‍රහශීලීය. එනමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නොවෙති

    Verse 74

    තවද ඔවුන්ගේ හදවත් සඟවන දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද නියත වශයෙන්ම ඔබේ පරමාධිපති දන්නේය

    Verse 75

    තවද අහස්හි හා මහපොළොවේ සැඟ වී පවතින කිසිවක් හෝ පැහැදිලි ලේඛනයේ සඳහන් ව මිස නැත

    Verse 76

    කවර විෂයක් ගැන ඔවුහු මතභේද ඇති කර ගත්තෝ ද ඒවායින් බොහෝමයක් ගැන නියත වශයෙන්ම ඉස්රාඊල් දරුවන්ට මෙම අල් කුර්ආනය විස්තර කරයි

    Verse 77

    තවද නියත වශයෙන්ම (අල් කුර්ආනය වන) මෙය මග පෙන්වීමකි. දෙවියන් විශ්වාස කරන්නන් හට දයාවකි

    Verse 78

    නියත වශයෙන්ම ඔබේ පරමාධිපති තම නීතිය අනුව ඔවුන් අතර තීන්දු දෙනු ඇත. තවද ඔහුමය සර්ව ඥානී සර්ව බලධාරී

    Verse 79

    එහෙයින් ඔබ අල්ලාහ් වෙත සියල්ල භාර කරනු. නියත වශයෙන්ම ඔබ පැහැදිලි සත්‍ය මත සිටින්නෙහිය

    Verse 80

    නියත වශයෙන්ම නුඹට (සත්‍ය ප්‍රතික්ෂේප කරන) මළවුනට සවන් වැකෙන්නට සැලැස්විය නොහැක. තවද (සත්‍යට කන් නොදෙන) බිහිරන් ඔවුන් පසුපසලා හැරී යන විට එම ඇරයුමට සවන් වැකෙන්නට සැලැස්විය නොහැක

    Verse 81

    අන්ධයින් නොමග යෑමෙන් ඔවුන්ට මග පෙන්වන්නකු ලෙස ඔබ නැත. අපගේ වදන් විශ්වාස කර, අවනත වන මුස්ලිම්වරුන් බවට පත්වූවන්ට හැර අන් අයට නුඹට සවන් වැකෙන්නට සැළැස්විය නොහැක

    Verse 82

    ඔවුන් වෙත (දඬුවමේ) ප්‍රකාශය පතිත වූ විට ‘නියත වශයෙන්ම මිනිසුන් අපගේ වදන් තරයේ විශ්වාස නොකරමින් සිටියහ’ යැයි ඔවුන් සමග කතා කරන සත්ත්වයෙකු ඔවුන් වෙනුවෙන් මහපොළොවෙන් අපි බැහැර කරන්නෙමු

    Verse 83

    සෑම සමූහයකින්ම අපගේ වදන් බොරු කරමින් සිටි අයගෙන් පිරිසක් අපි එක්රැස් කරන දිනය ගැන මෙනෙහි කරනු. එවිට ඔවුහු පෙළ ගස්වා තබනු ලබති

    Verse 84

    ඔවුහු පැමිණි විට, මාගේ වදන් පිළිබඳ දැනුමක් නුඹලාට නොතිබිය දී නුඹලා එය බොරු කළෙහු ද, එසේ නැතහොත් නුඹලා සිදු කරමින් සිටියේ කුමක්දැ?යි ඔහු විමසයි

    Verse 85

    ඔවුන් අපරාධ කළ බැවින් ඔවුන් කෙරෙහි (දඬුවමේ) ප්‍රකාශය පතිත විය. එහෙයින් ඔවුහු කතා නොකරති

    Verse 86

    ඔවුන් එහි වාසය කරනු පිණිස රාත්‍රියත් දහවල පෙනෙන්නක් බවටත් නියත වශයෙන්ම අපි ඇති කළ බව ඔවුහු නොදුටුවෙහු ද? නියත වශයෙන්ම එහි විශ්වාස කරන ජනයාට සංඥා ඇත

    Verse 87

    හොරණෑවෙහි පිඹිනු ලබන දින අල්ලාහ් අභිමත කළ අය හැර අහස්හි සිටින අය හා මහොපොළොවේ සිටින අය තැති ගනිති. තවද සියලු දෙනා ඔහු වෙත පහත් වූවන් ලෙසින් පැමිණෙනු ඇත

    Verse 88

    ඔබ එය ඝනව පිහිටා ඇතැයි සිතන කඳු දකින්නෙහිය. (එදින) ඒවා වලාකුළු ගමන් ගන්නාක් මෙන් ගමන් කරනු ඇත. එය සෑම දෙයකටම ස්ථාවරත්වයක් ඇති කළ අල්ලාහ්ගේ නිමැයුමකි. නියත වශයෙන්ම ඔහු නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය

    Verse 89

    කවරෙකු යහපත රැගෙන එන්නේ ද එවිට ඊට වඩා ශ්‍රේෂ්ඨත්වයක් ඔහු සතු වනු ඇත. තවද ඔවුහු එදින තැතිගැනීමෙන් සුරක්ෂිතයෝය

    Verse 90

    තවද කවරෙකු නපුර රැගෙන එන්නේ ද ඔවුන්ගේ මුහුණු නිරා ගින්නෙහි මුණිනතට හෙළනු ලැබේ. නුඹලා සිදු කරමින් සිටි දෑ හැර වෙනෙකක් නුඹලාට පිරිනමනු ලබන්නෙහු ද

    Verse 91

    නියත වශයෙන්ම මම අණ කරනු ලැබුවේ මෙම නගරය පාරිශුද්ධ කළ එහි පරමාධිපතිට නැමැදුම් කිරීමටය. තවද සියලු දෑ ඔහු සතුය. තවද මම (අල්ලාහ්ට අවනත වන) මුස්ලිම්වරුන් ගෙන් කෙනෙකු වීමට ද අණ කරනු ලැබුවෙමි

    Verse 92

    තවද මා අල් කුර්ආනය පාරායනය කිරීමට ද අණ කරනු ලැබුවෙමි. එහෙයින් කවරෙකු යහ මග ලබන්නේ ද එසේ ඔහු යහ මග ලබනුයේ ඔහු වෙනුවෙනි. තවද කවරෙකු නොමග ගියේ ද එවිට නියත වශයෙන්ම මම අවවාද කරන්නන් අතුරින් කෙනෙකු වෙමි යැයි නුඹ (ඔහුට) පවසනු

    Verse 93

    සියලු ප්‍රශංසා අල්ලාහ්ටය. ඔහුගේ සංඥා ඔහු නුඹලාට මතු පෙන්වනු ඇත. එවිට නුඹලා එය දැන ගන්නෙහුය. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳ නුඹගේ පරමාධිපති අනවධානියකු නොවේ යැයි (නබිවරය) ඔබ පවසනු