Back to Languages

    Sinhala - Chapter 78

    Translation by Www.islamhouse.com

    Verse 1

    (නබිවරය) කුමක් පිළිබඳව ද ඔවුන් තමන් අතර විමසා සිටිනුයේ

    Verse 2

    මහඟු වූ ආරංචිය පිළිබඳව ය

    Verse 3

    එය ඔවුන් භේද බින්න වී සිටි දෑය

    Verse 4

    නොඑසේය. ඔවුහු මතු දැන ගන්නෝය

    Verse 5

    යළි නොඑසේය. ඔවුහු මතු දැන ගන්නෝය

    Verse 6

    අපි මහපොළොව ඇතිරිල්ලක් ලෙස පත් නොකළෙමු ද

    Verse 7

    තවද කඳු, කූඤ්ඤ ලෙස ද (පත් නොකළෙමු ද)

    Verse 8

    තවද අපි නුඹලා ව (ස්ත්‍රී පුරුෂ ලෙස) යුගල වශයෙන් නොමැව්වෙමු ද

    Verse 9

    තවද අපි නුඹලාගේ නින්ද විවේකයක් බවට පත් නොකළෙමු ද

    Verse 10

    තවද අපි රාත්‍රිය ආවරණයක් බවට පත් නොකළෙමු ද

    Verse 11

    තවද අපි දහවල ජීවනෝපාය (සලසා ගන්නක්) බවට පත් නොකළෙමු ද

    Verse 12

    තවද අපි නුඹලාට ඉහළින් ශක්තිමත් (අහස්) හතක් ඉදි නොකළෙමු ද

    Verse 13

    තවද අපි දීප්තියෙන් දැල්වෙන පහනක් බවට (සූර්යයා) පත් නොකළෙමු ද

    Verse 14

    තවද අපි මේඝ වලාවන්ගෙන් (වැසි) ජලය අධික ලෙස පහළ නොකළෙමු ද

    Verse 15

    එමගින් ධාන්‍ය (වර්ග) හා වෘක්ෂලතා ද හට ගනු පිණිස

    Verse 16

    තුරු පතරින් ගහන (සරුසාර) උයන් ද (හට ගනු පිණිස)

    Verse 17

    නියත වශයෙන්ම තීරණාත්මක දිනයට (අදාළ) කාලය නියම වී ඇත

    Verse 18

    සූර් (හොරණෑ‍ව) පිඹිනු ලබන දිනයේ දී නුඹලා කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත

    Verse 19

    තවද අහස විවෘත කරනු ලැබේ. එවිට එය දොරටු බවට පත් වනු ඇත

    Verse 20

    කඳු (තිබූ තැන් වලින්) ඉවත් කරනු ලැබේ. එවිට එය මිරිඟුවක් මෙන් වනු ඇත

    Verse 21

    නියත වශයෙන්ම නිරය පහර දෙන ස්ථානයක් විය

    Verse 22

    (එය) සීමාව ඉක්මවා යන්නවුන් සඳහා නවාතැනක් වශයෙනි

    Verse 23

    එහි ඔවුහු යුග ගණනාවක්ම වෙසෙති

    Verse 24

    ඔවුහු එහි සිසිල හෝ පානය හෝ රස නොවිඳිති

    Verse 25

    නටන උණු දිය සහ (නිරයේ වැසියන්ගේ වණ) සැරව මිස. (වෙන කිසිවක් නැත)

    Verse 26

    (එසේ ඔවුනට ලැබෙනුයේ) සුදුසු ප්‍රතිඵලයක් වශයෙනි

    Verse 27

    නියත වශයෙන්ම ඔවුහු විනිශ්චය අපේක්ෂා නොකරමින් සිටියහ

    Verse 28

    තවද ඔවුහු අපගේ වදන් දැඩි ලෙස බොරු යැයි පවසමින් ප්‍රතික්ෂේප කළෝය

    Verse 29

    තවද අපි සෑම දෙයක්ම ලිඛිත ව ලේඛණයෙහි සටහන් කළෙමු

    Verse 30

    “එබැවින් නුඹලා රස විඳිනු. එවිට කිසිවිටෙක දඬුවම මිස (අන් කිසිවක්) අපි නුඹලාට වැඩි නොකරන්නෙමු.” ‍(යැයි නිරයේ වැසියන්ට පවසනු ලැබේ)

    Verse 31

    නියත වශයෙන්ම බිය බැතිමතුන්ට ජයග්‍රහණය ද ඇත

    Verse 32

    වතු හා මිදි ද (ඇත)

    Verse 33

    තවද පියයුරු නෙරා ගිය සම වයසේ කන්‍යාවන් ද (සිටිති)

    Verse 34

    (පානවලින්) පිරුණු කුසලාන ද ඇත

    Verse 35

    නිෂ්ඵල කථා බහක් හෝ (ඔවුනොවුන් අතර) කිසිදු බොරු කිරීමක් හෝ එහි ඔවුහු ශ්‍රවණය නොකරති

    Verse 36

    (එය) නුඹගේ පරමාධිපතිගෙන් වූ ප්‍රමාණවත් දායාදයක් වන ප්‍රතිඵලයකි

    Verse 37

    (එය) අහස්හි ද මහපොළොවෙහි ද ඒ දෙක අතර පවතින දෑහි ද පරමාධිපතියාණන් වන අපරිමිත දයාන්විතයාණන්ගෙනි. (ඔහු ඉදිරියේ) කථා කිරීමට ඔහුගෙන් ඔවුන් (කිසිවෙකු)ට බලය නොමැත

    Verse 38

    රූහ් (ජිබ්රීල්) හා මලක් (දේවදූත)වරුන් පෙළ ගැසී නැගිට සිටින දින. (එදින) අපරිමිත දයාන්විතයා අනුමැතිය දුන් කෙනෙකු හා සත්‍ය දෑ කථා කරන්නෙකු මිස (අන් කිසිවෙක්) කථා නොකරයි

    Verse 39

    එයමය සත්‍යය වූ දිනයයි. එබැවින් යමෙක් අභිමත කරන්නේද ඔහු තම රබ් (පරමාධිපති) වෙත ආපසු යන මාර්ගය තෝරා ගනිත්වා

    Verse 40

    නියත වශයෙන්ම සමීපයෙන් පවතින දඬුවම පිළිබඳ ව අපි නුඹලාට අවවාද කළෙමු. එදින මිනිසා තම දෙඅත් පෙරටු කළ දෑ දැක ගනී. තවද ප්‍රතික්ෂේප කරන්නා, “අහෝ ! මා පස් බවට පත් විය යුතු නොවෙම් දැ”යි පවසයි

    Unexpected Application Error!

    Unexpected token '<', "<!DOCTYPE "... is not valid JSON

    SyntaxError: Unexpected token '<', "<!DOCTYPE "... is not valid JSON